22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරියට තැබූ පය පසුපසට නොගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) බදුල්ලේ පැවැති ජනහමුවකදීය. එහි දී මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය, “අපි බලයට එද්දි මොකක්ද කිවේ ?, අවුරුදු 30-40ක් තිස්සේ ඉබාගාතේ ගිය ක්‍රමයක්, මළකඩ කාපු ක්‍රමය අවසන් කිරීම තමයි අපි දුන්න පොරොන්දුව. අපේ ප්‍රධාන පොරොන්දුවක් වුණේ දූෂිතයින්, හොරුන් අධිකරණයට ඉදිරියට පැමිණ වීමට යාන්ත්‍රණයක් හදනවා කියන එක.
නඩු ලක්ෂ 11ක් ගොඩ ගැහිලා තිබෙනවා. මේ නඩු වේගයෙන් විසඳීමට නම් අධිකරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට අපට සිදුවෙනවා. නඩු කඩිනමින් විසඳීමට නම් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස පමණක් ඉහළ දැමීම පමණක් ප්‍රමාණවත් නැහැ කියන අදහස මම පිළිගන්නවා. මේක සිදුවිය යුත්තේ අලුත් ප්රතිසංස්කරණත් එක්කමයි.
මේ කටයුතු මේ ආකාරයෙන් සිදුවන විට විපක්ෂය බිල්ලෙක් මවනවා. විපක්ෂය කියනවා අපි එක පුද්ගලයෙක් ඉලක්ක කර ගෙන මේ කටයුතු කරනවා කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. අධිකරණ පද්ධතියේ සිටින සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස යෝජිත සංශෝධන අනුව අවුරුදු දෙකකින් වැඩි වෙනවා.
අපි යම්කිසි ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ හෝ තෝරා ගත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට තීරණය කළා නම් විපක්ෂයේ තර්කය නිවැරදියි. විපක්ෂය තමයි එක් විනිසුරුවරයෙක්, අගවිනිසුරුතුමා ඉලක්ක කරගෙන කතා කරන්නේ. අපි නොවෙයි.
මේ සංශෝධන ක්‍රියාත්මක වී, මේ අවුරුද්ද අවසාන වන විට ඔබලාට ප්‍රතිඵල දකින්න පුළුවන් වෙයි. අපි ජනතාව ඉල්ලා සිටි යුක්තිය ඉටුකරනවා. ආණ්ඩුව ගත්ත පියවර පසුපසට ගන්නේ නැහැ”












