ශබ්ද විකාශන යන්ත්‍ර හා ඇම්ප්ලිෆයර් භාවිතය නීතියට අනුකූලව සිදුකරන්න: නව නීති මෙන්න !

මේ වන විට මෙම ශබ්ද දූෂණය ළදරුවන්, පාසල් දුවාදරුවන්, වැඩිහිටියන් හා රෝගීන් හට ශබ්ද දූෂණයකට එහා ගිය සෞඛ්‍ය සහ මානසික ගැටළුවක් බවට පරිවර්තනය වී ඇති බවට නිරීක්ෂණය වී ඇත.

තවද, ගරු ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 38/2005 දරන නියෝගය අනුව, ඇම්ප්ලිෆයර්, ශබ්ද විකාශන යන්ත්‍ර හෝ වෙනත් ශබ්ද උපකරණ භාවිත කිරීමෙන් මහජනතාවට හෝ අවට පදිංචිකරුවන්ට අපහසුතාවක් හෝ යම් පීඩාවක් ඇතිවන විටදී, එය දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තිය යටතේ මහජන පීඩාවක් ලෙස සලකා නීතියට අනුකූලව ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව පවතී.

 පොලිස් ආඥාපනතේ ප්‍රතිපාදන යටතේ ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ශබ්දය වැඩි කිරීම සඳහා භාවිත කරන වෙනත් උපකරණ භාවිත කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂ උපදෙස් ලබාදී ඇත.

 ඒ අනුව, රාත්‍රී 10.00 සිට පසුදින පෙරවරු 06.00 දක්වා කාලය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා නොදිය යුතු අතර, ආගමික කටයුතු හෝ විශේෂ අවස්ථා සම්බන්ධයෙන් අදාළ කරුණු සලකා බලා නීතියට අනුකූලව අවසර ලබාදිය හැකිය.

 අදාළ බලපත්‍රය නිකුත් කර ඇති අවස්ථාවලදී, බලපත්‍රයේ සඳහන් දිනය, වේලාව සහ අනෙකුත් සියලුම කොන්දේසිවලට දැඩිව අනුගත විය යුතුය.

අදාළ පොලිස් අවසරය ලබාගෙන ඇති අවස්ථාවක, අවසර පත්‍රයේ සඳහන් කොන්දේසිවලට යටත්ව පහත කාල සීමාවන් තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදී ඇති අවස්ථා තිබිය හැකිය.

  • සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා – රාත්‍රී 10.00 දක්වා
  • සිකුරාදා සහ සෙනසුරාදා – අලුයම 01.00 දක්වා
  • ඉරිදා – අලුයම 12.30 දක්වා

 මෙම වේලාවන් බලපත්‍රලාභීන්ට ස්වයංක්‍රීයව හිමිවන අයිතියක් නොවන අතර, අදාළ අවස්ථාව සඳහා පොලිසිය විසින් නිකුත් කර ඇති බලපත්‍රයේ සඳහන් කොන්දේසි සහ අවසරයට යටත්ව පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ යුතුය.

 තවද, අවසරයක් ලබාදී තිබුණද, ශබ්දය අදාළ පරිශ්‍රයෙන් පිටතට ගොස් අවට පදිංචිකරුවන්ට හෝ මහජනතාවට කරදරයක් හෝ අපහසුතාවක් ඇතිවන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම නොකළ යුතුය.

 පෙරවරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විශේෂ අවස්ථාවක් සඳහා අවසර ලබාදී ඇති අවස්ථාවකදී ද, එම ශබ්දය අදාළ පරිශ්‍රයට සීමා වන ආකාරයෙන් පවත්වාගෙන යාම සහ අවට ජනතාවට අනවශ්‍ය බාධාවක් ඇති නොවන බවට වගබලා ගැනීම අත්‍යවශ්‍ය වේ.

 අවසර ලබාදී ඇති අවස්ථාවලදී එහි කොන්දේසි ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීම සඳහා ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් යොදවා අධීක්ෂණය කිරීමට ද පොලිසිය කටයුතු කරනු ඇත.

 මහජනතාවගෙන් පැමිණිල්ලක් ලැබුණු අවස්ථාවකදී, අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂා කර ශබ්දය මහජන පීඩාවක් හෝ අපහසුතාවක් ඇති කරන බව තහවුරු වුවහොත්, එම ක්‍රියාව නතර කරන ලෙස අදාළ පුද්ගලයන්ට දැනුම් දීමට පොලිසිය කටයුතු කරනු ඇත.

 එම දැනුම්දීම නොතකා අදාළ ක්‍රියාව තවදුරටත් සිදු කරන්නේ නම්, පවතින නීතිමය විධිවිධාන අනුව ශබ්ද උපකරණ පොලිස් භාරයට ගැනීම ඇතුළු අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය කටයුතු කරනු ඇත.

 නීති විරෝධී ලෙස හෝ මහජනතාවට පීඩාවක් වන ආකාරයෙන් අධික ශබ්දයක් නිකුත් කරන අවස්ථාවක් පිළිබඳව කිසියම් පුද්ගලයෙකුට අපහසුතාවක් ඇතිවන්නේ නම්, ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ හදිසි ඇමුතුම් අංක 118,119 වෙත දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මහජනතාවගේ සාමය, නිදහස සහ දෛනික ජීවිතයට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර හා ඇම්ප්ලිෆයර් භාවිත කිරීම සියලු දෙනාගේ වගකීමක් වන අතර, අදාළ නීතිමය විධිවිධාන සහ අවසර කොන්දේසි උල්ලංඝනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතියට අනුකූලව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website