අනුර, රනිල්, සජිත්, නාමල් සහ දිලිත් පසුගිය ජනාධිපතිවරණයයේදී වැයකර ඇති මුදල් සහ මැතිවරණ වියදම් නියාමනය – 01 කොටස

මංජුල ගජනායක – ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ

මෙහි දී පොදු ජනතාවට පැන නඟින ප්‍රශ්නයක් වන්නේ ‘අදාළ ආදායම් – වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ට එරෙහිව ගන්නා වූ පියවර කුමක් ද ?’ යන්නය. මේ සම්බන්ධයෙන් තොරතුරු පනත යටතේ පොලිසියෙන් ඉල්ලීම් ද කර ඇත. මෙහි දී පොලිසිය ලබා දුන් පිළිතුරු වන්නේ අදාළ ආදායම් – වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින් 500 දෙනෙකුට පමණ පොලිසිය විසින් නඩු දමා ඇති බවයි.

ප්‍රකට ඉංග්‍රීසි දේශපාලන කියමනක් තිබේ, එහි සරල සිංහල අදහස මෙසේය, “ඔබ සත්‍ය අනාවරණය කරන අවස්ථාවක දී ඒක බොහොම නිදහසේ කරන්න පුළුවන්. නමුත් පළමු අවස්ථාවේ දී ඔබ කෝප ගන්වන්න පුළුවන්’ කියලා. ශ්‍රී ලංකාවේ මැතිවරණ වියදම් සහ ඒ ආශ්‍රිත කරුණු සාකච්ඡා කිරීමේ දී දේශපාලන අධිකාරියට අදාළව පළමුව ඉහත දක්වන ලද තත්ත්වය උදා වෙනවා. ඔවුන් පළමුව මේ සම්බන්ධයෙන් යම් නිදහසකින් කතා කළත් පසුව ඔවුන් කෝප ගන්වන්න පුළුවන්.

මැතිවරණ වියදම් නියාමනය

2016 දී ආරම්භ වූ වසර ගණනාවක උද්දේශන කටයුතු වලින් පසුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නව මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සාර්ථකව සම්මත කළේය. කෙසේ වෙතත්, මැතිවරණ කාල සීමාවෙන් ඔබ්බට දේශපාලන පක්ෂ වලට අරමුදල් සපයන ආකාරය නිරීක්ෂණය කිරීමේ පුඵල් ක්‍රමවේදයක් ඇතුඵව, දේශපාලන මුදල් අඛණ්ඩව අධීක්ෂණය කිරීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් තවමත් රට තුළ නොමැත.

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සම්මත වීමෙන් පසු, මැතිවරණ කොමිෂන් සභාව මේ දක්වා වෙන්වෙන්ව පැවැත්වූ මැතිවරණ හතරකට නීතිය උපයෝගී කර ඇත. මෙය වටිනා ප්‍රායෝගික අවබෝධයක් ලබා දීමකි. කෙසේ වෙතත්, අනුකූලතාව පිළිබඳ ක්‍රමානුකූල තක්සේරුව සීමාසහිත වේ. ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවෙන් පහසුවෙන් ප්‍රධාන වශයෙන් ලබාගත හැකි තොරතුරු වන්නේ, වියදම් වාර්තා ඉදිරිපත් කළ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව මෙන්ම, එසේ කිරීමට අපොහොසත් වූ අපේක්ෂකයින් සංඛ්‍යාව වැනි මූලික සංඛ්‍යා ලේඛන දත්ත යන මේවා ය.

මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී ප්‍රථමයෙන් ඒ සම්බන්ධයෙන් අදහසක් ලබා ගත යුතුය. මැතිවරණ වියදම් නියාමනය සහ ඒ ආශ්‍රිත වියදම් පිළිබඳ සාකච්ඡාවේ දී අවධානය යොමු වන්නේ එකිනෙකා අත පවතින මුදල් හෝ ඒවා පිළිබඳව ජනතාව තුළ පවතින  ඊර්ෂ්‍යා සහගත හැඟීමක් හේතුවෙන් නොවේ. අප පැහැදිලිව දන්නා කරුණ වන්නේ මුදල් නොමැතිව ශ්‍රී ලංකාවේ කිසිදු මැතිවරණයක් පැවැත්විය නොහැකි බවයි. ඒ සඳහා මුදල් අවශ්‍ය බව කවුරුත් පොදුවේ පිළිගන්නා කරුණකි.

නමුත් මෙම ප්‍රශ්නයේ දී කරුණු දෙකක් වෙත අවධානය යොමු කළ යුතු වේ. පළමු කරුණ වන්නේ එම මුදල් සොයා ගත් ආකාරය සහ එය වියදම් කළ ආකාරය අනාවරණය කිරීම ය. මෙය ‘අහිංසක ඉල්ලීමක්’ ලෙස සැලකිය හැකි ය. ඒ මේ ආකාරයෙන් මැතිවරණවලට මුදල් ලැබීම සහ ඒවා වියදම් කිරීමේ දී ලබැඳියාවන් අතර ගැටුමක් පවතින බව පොදුවේ පිළිගැනීමය.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු වන දෙවැනි කරුණ වන්නේ ඡන්දදායකයින්ට අදාළ මුදල් ලැබුණ ආකාරය සහ ඒවා වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගෙන, ඒවා කියවා බලා ඒ සම්බන්ධයෙන් යම් අදහසක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කිරීමය.

මෙහි දී යළි යළිත් අවධාරණය කළ යුතු කරුණ වන්නේ මේ හරහා මැතිවරණවලදී මුදල් ලබා ගැනීම සහ මුදල් වියදම් කිරීම කිසිම ආකාරයෙන් හෙළා දකින හෝ ප්‍රතික්ෂේප නොකරන බවය. නමුත් ප්‍රශ්නය වෙනත් තලයක පවතින හෙයින් ද, එය සංකීර්ණ හෙයින් ද ඒ ගැන විශේෂයෙන් සාකච්ඡා කළ යුතු ය.

‘2024 ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණවලදී අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කරන ලද මූල්‍ය වාර්තා පිළිබඳ විශ්ලේෂණය’ නම් වාර්තාව ඇසුරින් ඉදිරියේ දී සිදුවන සාකච්ඡාවේ දී මුලින්ම පැහැදිලි කළ යුතු කරුණ වන්නේ, මැතිවරණ වලදී මුදල් ලබා ගැනීම සහ ඒවා වියදම් කිරීම සම්බන්ධයෙන් නියාමන යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පුළුල් සංවාදයක් පැවති බවය. මැතිවරණ කාලවල දී මේ සම්බන්ධයෙන් උණුසුම් සහ වියත් සාකච්ඡාවක් සිදු වුණ ද මැතිවරණ ක්‍රියාවලිය අවසන් වූ පසු එය යළි සංවාදයෙන් ඈත් වූ අතර ඒ සම්බන්ධ උනන්දුව ද ක්‍රමයෙන් වියැකී ගියේය.

‘2024 ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණවලදී අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කරන ලද මූල්‍ය වාර්තා පිළිබඳ විශ්ලේෂණය’ නම් පර්යේෂණාත්මක කෘතියට පදනම වන්නේ මැතිවරණ කාලයේ දී පමණක් උණුසුම් වන හා විද්වත් සංවාදයට ලක්වන මෙම මාතෘකාවේ උණුසුම සහ උනන්දුවක කාලයක් පවතින එකක් බවට පත් කිරීමය.

2024 ජනාධිපතිවරණය සහ ඊට පසුව පවත්වන ලද මහ මැතිවරණයට අදාළව ඒ ඒ අපේක්ෂකයින් විසින් ලබා දෙන ලද ආදායම් සහ වියදම් වාර්තා පිළිබඳ සමස්ත සමාලෝචනයක් මේ කෘතියේ අන්තර්ගත වේ. උදාහරණයක් ලෙස 2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත් වූ අතර පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයින් 9578ක් ඉදිරිපත් වූහ. ජනාධිපති මැතිවරණ සමයේ එක් ජනපතිවරණ අපේක්ෂකයෙක් මිය ගිය අතර ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සමස්ත අපේක්ෂකයින් සංඛ්‍යාව 38ක් විය. මෙම සියලු අපේක්ෂකයින් අදාළ මැතිවරණවලින් පසුව සිය ආදායම් සහ වියදම් වාර්තා මැතිවරණ කොමිෂමට ඉදිරිපත් කිරීමට නීතියෙන් බැඳී සිටීයහ.

අපේක්ෂකයා සහ එම අපේක්ෂකයාගේ දේශපාලන පක්ෂය යන දෙපාර්ශ්වයම වෙන වෙනම වාර්තා ඉදිරිපත් කළ යුතු බැවින්, එක් අපේක්ෂකයෙකුගේ මරණය හේතුවෙන්, ඉදිරිපත් කළ යුතු මුළු වාර්තා සංඛ්‍යාව දෙකකින් අඩු විය. ඒ අනුව මැතිවරණ කොමිෂමට ආදායම් – වියදම් වාර්තා 76ක් ලැබිය යුතුව තිබුණේය. නමුත් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් වෙතින් ලැබී තිබුණේ වාර්තා 63ක් පමණක් වූ අතර ඉදිරිපත් නොකළ වාර්තා ගණන 13ක් විය.

2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 9,578ක් (දිස්ත්‍රික් මට්ටමේ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් සහ ජාතික ලැයිස්තු නාමයෝජනා ලත් අය) වූ අතර ලැබුණ ආදායම් – වියදම් වාර්තා සංඛ්‍යාව 8339ක් විය. ඒ අනුව ඉදිරිපත් නොකළ වාර්තා සංඛ්‍යාව 1239කි.

ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී සාපේක්ෂව මෙතරම් විශාල පිරිසක් සිය ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් නොකිරීම බරපතළ තත්ත්වයක් බව පැහැදිලිව සඳහන් කළ යුතුය. මෙහි ඇති තවත් වැදගත් කරුණක් වන්නේ මේ වාර්තා ප්‍රමාණය හෝ එකතු කර ගැනීමට මැතිවරණ කොමිෂමට හැකියාව ලැබුණේ මැතිවරණ දිස්ත්‍රික් මට්ටමින් අදාළ අපේක්ෂකයින්ට සහ දේශපාලන පක්ෂවලට විශේෂ දැනුම් දීමක් කිරීම නිසාය. ‘කොහොම හරි මේක එවන්න’ යැයි දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන් අදාළ අපේක්ෂකයින් වෙත යම් පෙළඹවීමක් කිරීම මෙතරම් අපේක්ෂකයින් පිරිසක් සිය ආදායම් – වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ප්‍රධාන හේතුව විය. එහි අදහස වන්නේ දිස්ත්‍රික් මට්ටමින් මැතිවරණ නිලධාරීන් පෙළඹීමක් නොකළේ නම් මෙම වාර්තා ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වීමට ඉඩ තිබුණ බවය.

දෝෂ බහුල වාර්තා

මෙම වාර්තාවල දැකගත හැකි වූ තවත් විශේෂත්වයන් කිහිපයක් වෙත ද මෙහි දී අවධානය යොමු කළ යුතුය. මෙහි දී සුලභව දැකගත හැකි වූ දුර්වලතාව වන්නේ බොහෝ වාර්තා නිවැරදිව, අංග සම්පුර්ණ ලෙස සකස් නොකිරීමය. එහි අදහස වන්නේ මෙම වාර්තා බොහොමයක් ‘සදොස් වාර්තා’ බවයි. මෙම තත්ත්වය අදාළ වාර්තා අධ්‍යයනය කිරීමේ දී ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කළ හෙයින් සියලුම වාර්තා ‘පුද්ගලිකව කියවීමට’ සිදුවීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

මෙම වාර්තා සියල්ල පරිශීලනය කිරීමේ දී හඳුනා ගත හැකි වූ තවත් වැදගත් කරුණක් වන්නේ අදාළ අපේක්ෂකයින් බහුතරයක් විසින් මෙම වාර්තා ලබා දීම කරන ලද්දේ ‘හුදු නෛතික රාමුවට යටත් වීමට සිදුවීම සහ අදාළ වාර්තා ලබා නොදුන්නේ නම් යම් නෛතික ගැටලුවකට මුහුණ දීමට සිදු වෙතැයි’ ඔවුන් බියට පත්වීම හේතුවෙනි.

එසේම බොහෝ අපේක්ෂකයින් සිය ආදායම් – වියදම් වාර්තා ලබා දීම කර තිබුණත් ‘අත්‍යවශ්‍ය තොරතුරු’ ලබා දීමට පියවර  නොගැනීම ද මෙහි දී හඳුනා ගත හැකි විය.

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සම්මත කර ගැනීමේ දී මැතිවරණ කොමිෂම මැතිවරණ අපේක්ෂකයාගෙන් සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් අදාළ ආදායම් – වියදම් ලේඛනය සමඟ ලබා ගැනීමට අපේක්ෂා කළේය. ඒ අනුව අදාළ අපේක්ෂකයාගේ දුරකථන අංකය, මැතිවරණ ව්‍යාපාරයට භාවිත කරන ලද දුරකතන අංකය හෝ අංක, ලැබුණු මුදල් ප්‍රමාණය, ඒවා වියදම් කළ ආකාරය සහ මුදල් ලැබුණු මූලාශ්‍රය පිළිබඳ පැහැදිලි හා නිරවුල් වාර්තාවක් ලබා ගැනීම මැතිවරණ කොමිෂමේ අපේක්ෂාව විය. නමුත් බොහෝ දෙනෙක් මෙම තොරතුරු ලබාදීමෙන් ‘යම් දුරට ඈත් වීමක්’ මෙහි දී නිරීක්ෂණය විය.

ආදායම් – වියදම් වාර්තාවල ගැටලු

මෙහි ඇති තවත් විශේෂත්වයක් (ජනතාවගේ පුදුමයට හේතුවන කරුණක්) වන්නේ මැතිවරණ නීතිය ඇතුළු නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විද්වත් සමාජය තුළ, ජනමාධ්‍ය තුළ බොහෝ අදහස් දක්වන ලද, වැදගත් අමාත්‍ය පදවි දරන ලද පුද්ගලයින් පවා මැතිවරණ ආදායම් සහ වියදම් ලැයිස්තුව නිසි පරිදි ලබා නොදීමය. ඇතැම් වාර්තා ‘පුංචි එකාගේ ලියුම’ ලෙස සැලකිය හැකි ආකාරයට නොසැලකිලිමත් ඒවා වීමය.

මෙහි දී යළි යළිත් සිහිපත් කළ යුතු හා අවධාරණය කළ යුතු කරුණ වන්නේ බොහෝ අපේක්ෂකයින් මෙම නීතිය සම්බන්ධයෙන් ‘නිසි දැනුවත් වීමක්’ ලබා නොතිබීම සහ නීතිය හමුවේ යම්කිසි දුෂ්කරතාවකට හෝ නීතිමය ගැටලුවකට මුහුණ දීමට සිදුවෙතැයි බියෙන් මෙම වාර්තා ලබාදීමය.

මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරන්නේ නම් පහත සඳහන් ගැටලු හතර ආදායම් සහ වියදම් වාර්තා ලබාදීමේ දී හඳුනා ගත හැකි විය.

  1. ප්‍රමිතිකරණයක් නොමැතිකම – බොහෝ වාර්තා නියම කර ඇති ආකෘති වලට අනුකූලව සකස් කර නොතිබුණි.
  2. දත්තවල ගුණාත්මකභාවයේ ගැටලු – වාර්තා වල නිතර අසම්පූර්ණ හෝ අපැහැදිලි ඇතුළත් කිරීම්, නොසැලකිලිමත් දත්ත ඇතුළත් කිරීම් සහ යළි යළිත් පැවති දෝෂ අඩංගු විය.
  3. තොරතුරු අඩුවෙන් ඇතුළත් කිරීම – අත්‍යවශ්‍ය තොරතුරු, විශේෂයෙන් අරමුදල් මූලාශ්‍ර සම්බන්ධයෙන්, බොහෝ විට නොතිබුණි.
  4. විශ්ලේෂණාත්මක සීමාවන් – මෙම අඩුපාඩු ක්‍රමානුකූල විශ්ලේෂණයට, විශේෂයෙන් අරමුදල් මුලාශ්‍රයන් හඳුනා ගැනීමට සහ වියදම් වර්ගීකරණයට බාධාවක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස, වාර්තා විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණ ද, දත්තවල සමස්ත ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය එක සමාන මට්ටමක නොපැවතුණි.

අපේක්ෂකයින්, ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ නීතියේ දක්වා ඇති ආකෘති සහ අවශ්‍යතා වලට වඩා දැඩි ලෙස අනුගත වූයේ නම් – මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ සමඟ, මෙම සීමාවන් සැලකිය යුතු  ලෙස අවම කරගත හැකිව තිබුණි.

මැතිවරණ අපේක්ෂකයින් විසින් සිය ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ දී මේ ආකාරයේ ‘ගැටලු බහුල’ ප්‍රමිතියකින් තොර වාර්තා ඉදිරිපත් කිරීම කිසිම ආකාරයකින් අනුමත කළ නොහැකි කාරණයකි. එයට හේතුව වන්නේ අදාළ වාර්තා ලබාදිය යුතු ආකාරය නීතියේ ඉතාම පැහැදිලිව දක්වා තිබීමය. අනෙක් අතට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර ගිවිසුම් වල ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇත.

ඒ අනුව 2015 දෙසැම්බර් 10 වැනිදා අත්සන් තබන ලද ‘නවදිල්ලි ප්‍රකාශය’ තුළ ද මැතිවරණ ප්‍රචාරක වියදම් නීතිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබේ.

තවත් ගැඹුරට

මේ සම්බන්ධයෙන් තව දුරටත් ගැඹුරට හැදෑරීමක් කිරීමට අදාළ වාර්තාව සම්පාදනය කිරීමේ සිදුවිය. එහි දී පහත සඳහන් කරුණු හඳුනා ගත් අතර, ඒවා මෙසේ සාරාංශ කළ හැකිය.

2024 ජනාධිපතිවරණයට සහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 2239 දෙනෙක් මැතිවරණ නීතිය පරිදි සිය ආදායම් – වියදම් වාර්තා ලබාදීමක් සිදුකර නැත. මෙය බරපතළ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. මෙය තව දුරටත් පැහැදිලි කරන්නේ මැතිවරණයට නාම යෝජනා ලබා දෙන අවස්ථාවේ දී සිය වත්කම් – බැරකම් ප්‍රකාශ ලබාදීමට අපේක්ෂකයින් නීතියෙන් බැඳී සිටී. එය මේ වන විට දැඩිව ක්‍රියාත්මක වන නීතියක් බවට පත්ව ඇත.

එසේම 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව මැතිවරණවලට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයින් මැතිවරණයෙන් පසු සිය මැතිවරණ ව්‍යාපාරයට වෙනුවෙන් ලැබුණු අරමුදල් සහ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් කරන ලද වියදම්, අදාළ මුදල් ලැබුණු මූලාශ්‍රය ආදි තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිතව ලබා දිය යුතුය. එය නීතිමය අවශ්‍යතාවක. නමුත් 2239 දෙනෙක් මේ නීතිය පැහැදිලිව උල්ලංඝණය කර ඇත.

මෙහි දී තවත් වැදගත් කරුණක් ද හෙළි කළ යුතුය. ඒ වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය ආදායම් – වියදම් වාර්තා ලබාදී තිබිමය. එම වාර්තාවල සැලකිය යුතු අඩුපාඩු තිබුණත් ඔවුන් විසින් එකී වාර්තා ලබාදී ඇති බව මෙහි දී සඳහන් කළ යුතුය.

එසේම සිය ආදායම් – වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින් අති බහුතර ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයින් බව ද අදාළ ආදායම් – වියදම් වාර්තා නිරීක්ෂණයේ දී පැහැදිලි විය.

මෙහි දී ‘සංඛ්‍යාත්මකව කුඩා දේශපාලන පක්ෂ’ කිහිපයක් සහ මෑතකදී ලියාපදිංචි කරන ලද දේශපාලන පක්ෂ කිහිපයක් ඔවුන්ට ‘හැකි පමණින්’ සිය ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට උත්සාහ ගෙන තිබුණේය.

නොදුන් අයට ගන්න පියවර

මෙහි දී පොදු ජනතාවට පැන නඟින ප්‍රශ්නයක් වන්නේ ‘අදාළ ආදායම් – වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ට එරෙහිව ගන්නා වූ පියවර කුමක් ද ?’ යන්නය. මේ සම්බන්ධයෙන් තොරතුරු පනත යටතේ පොලිසියෙන් ඉල්ලීම් ද කර ඇත. මෙහි දී පොලිසිය ලබා දුන් පිළිතුරු වන්නේ අදාළ ආදායම් – වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින් 500 දෙනෙකුට පමණ පොලිසිය විසින් නඩු දමා ඇති බවයි.

නමුත් මෙය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගත යුතු අතර එය මේ දක්වා සිදුවී ඇති බවක් නිරීක්ෂණය නොවේ. අනෙක් අතට අදාළ වාර්තා ලබා නොදුන් සියලු අපේක්ෂකයින් සම්බන්ධ වාර්තා මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලිසියට ලබා දී ඇති නමුත් පොලිසිය මේ සම්බන්ධයෙන් ‘විනිවිදභාවයකින්’ කටයුතු නොකරන බව ද දැකගත හැකිය.

යළිත් පැවසිය යුතු වන්නේ නීතිය ප්‍රකාරව සිය ආදායම් සහ වියදම් වාර්තා ලබා නොදුන් ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය පියවර නොගැනීම අදාළ පනතේ මූඛ්‍ය අරමුණුවලට පටහැණි බවය. අනෙක් අතට මෙවැනි පසුබිමක් තුළ මෙම නීතිය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින විශ්වාසය බිඳී යාම සිදුවන අතර මෙය ද හිතකර හෝ ධනාත්මක තත්ත්වයක් වශයෙන් සැලකිය නොහැකිය.

ධනාත්මක තත්ත්වය

මෙම සමස්ත ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නිශේධනාත්මක බවක් ඉහත පැහැදිලි කිරීම්වලින් සිදු නොවේ. මේ ක්‍රියාවලිය තුළ ‘ධනාත්මක’ ලක්ෂණ ද පවතින බව පැවසිය යුතුය.

මෙහි දී දැකගත හැකි ධනාත්මක ලක්ෂණ අතර වැදගත්ම එක වන්නේ ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ තමන්ට හැකි ආකාරයෙන් 2024 ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ ආදායම් – වියදම් වාර්තා සහ ඒවා ලැබුණු ප්‍රභවයන් ලබා දීමට පියවර ගැනීමය. උදාහරණයක් ලෙස ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේ වාර්තා ‘හැකි පමණ හොඳින්’ ලබා දීමට පියවර ගෙන ඇත. ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයේ දී සිය අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලැබුණු ආදායම් සහ කරන ලද වියදම් සම්බන්ධයෙන් පිටු දහසකට වඩා වැඩි වාර්තාවක් ලබා දී ඇත. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ සමස්ත ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා ‘කිසිදු වියදමක් නොදැරීම’ සහ ඔහු වෙනුවෙන් සමස්ත වියදම වූ රුපියල් 527,999,889.38ක මුදල පක්ෂය විසින් දැරීමය.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ තත්ත්වය අනුර කුමාර දිසානායක මහතාගේ තත්ත්වය වඩා සපුරා වෙනස්ය. හිටපු ජනාධිපතිවරයා සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් වැය කරන ලද රුපියල් 990,327,687.16ක් වූ සමස්ත වියදම ඔහු විසින්ම දරන ලද බව සඳහන් කර ඇති අතර ඔහු විසින් පිටු 1.5ක වාර්තාවක් ඉදිරිපත් කිරීම ද විශේෂත්වයකි.

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් 1,130,346,240ක් වැය කර ඇති බව සඳහන් කර ඇත. එම මුදලින් රුපියල් 936,258,524.60ක් ඔහු විසින් දරන ලද බවත් ඉතිරි මුදල ඔහුගේ නාම යෝජනා භාර දුන් පක්ෂය වන සමගි ජන බලවේගය විසින් (රුපියල් 194,087,715.04ක්) දරන ලද බවත් සඳහන් කර ඇත.

තවත් ප්‍රධාන ජනපතිවරණ අපේක්ෂකයෙකු වූ සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් නාම යෝජනා භාර දුන් දිලිත් ජයවීර මහතා සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට වැය වූ රුපියල් 324,643,246.05ක මුදල ඔහු විසින් ම දරන ලද බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා ලබා දුන් නාමල් රාජපක්ෂ මහතා ද සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් වැය කරන ලද රුපියල් 388,393,085ක මුදල සිය පක්ෂය විසින් ලබා දුන් බව සිය වාර්තාවේ සඳහන් කර ඇත.

සරත් මනමේන්ද්‍ර සහ ඒ.එස්.පී ලියනගේ යන ජනාධිපතිවරණ අපේක්ෂකයින් සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් ‘කිසිදු මුදලක්’ වැය නොවූ බව සඳහන් කර තිබීම ද විශේෂත්වයකි.

මහ මැතිවරණය

මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙත යම් අවධානයක් යොමු කරන්නේ නම් ධනාත්මක උදාහරණ කිහිපයක් දැකගත හැකි විය. උදාහරණයක් ලෙස ජාතික ජන බලවේගයෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරඟ කළ අම්බිකා සැමුවෙල් මහත්මිය සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ලැබුණු සමස්ත ආදායම සහ සිය සමස්ත වියදම පැහැදිලිව සටහන් කර වාර්තාව ඉදිරිපත් කර තිබූ අතර එම මුදල් ලැබුණු ප්‍රභවය (ජාතික හැඳුනුම්පත් අංකය සමඟ) පමණක් නොව අතැති මුදල පවා සඳහන් කර තිබුණාය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත අවධානය යොමු කරන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහ මැතිවරණය වෙනුවෙන් වියදම් කරන ලද රුපියල් 19 ලක්ෂයක පමණ මුදල ලැබුණු ප්‍රභවය ලෙස පාක්ෂියන් අතර (රුපියල් 50,100,1000 ආදි වශයෙන්) ටිකට් පත් අලෙවියෙන් ලැබුණු මුදලක් බව සිය වාර්තාවේ සඳහන් කර තිබුණේය. නමුත් මෙම ටිකට් පත් අලෙවි කළ ආකාරය තහවුරු කරන කිසිදු ලේඛනයක් ඔහු විසින් ඉදිරිපත් කර නොතිබීම ද විශේෂත්වයකි.

මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය සමස්ත ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් වැඩිම වියදමක් දරන ලද්දේ පක්ෂයේ ස්ථාවර තැන්පතු වලින්  බව සඳහන් කර තිබුණේය.

  • ක්‍රියාමාර්ග නොගැනීමේ අර්බුදය

මැතිවරණයේ දී පක්ෂය හෝ ස්වාධීන අපේක්ෂකයා විසින් දරන ලද වියදම, ලැබුණු මුදල් ප්‍රමාණය සහ මුදල් ලැබුණු මූලාශ්‍රය ආදි තොරතුරු සහිතව සිය ආදායම් සහ වියදම් වාර්තාවක් මැතිවරණයෙන් පසු මැතිවරණ කොමිෂම වෙත භාර දිය යුතු වුව ද පසුගිය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් දෙදහසකට අධික සංඛ්‍යාවක් එම නීතියට අනුව කටයුතු කර නැත. මෙහි ඇති බරපතළ තත්ත්වය වන්නේ ජනාධිපතිවරණයට අදාළ සිය ප්‍රචාරක වියදම් සහ ලැබුණු මුදල් ප්‍රමාණය ආදි තොරතුරු ඇතුළත් වාර්තාවක් මැතිවරණ කොමිෂමට භාර නොදුන් අපේක්ෂකයින් ඊට පසුව පැවැති මහා මැතිවරණයට ද ඉදිරිපත් වීමය. එය තව දුරටත් ඉදිරියට ගොස් මෙම මැතිවරණ ද්විත්වයටම අදාළ වාර්තා ලබා නොදුන් පුද්ගලයින් (බොහෝ විට මහ මැතිවරණය) ඊට පසුව පැවැති පළාත් පාලන මැතිවරණයට ද ඉදිරිපත් වූවා විය හැකිය.

නමුත් නීතිය අනුව මැතිවරණයකදී අදාළ වාර්තා ලබා නොදුන් පුද්ගලයෙකුට ඉදිරි මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය. නමුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් පසු අදාළ වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින් මහ මැතිවරණයට ද මහ මැතිවරණයට ඉදිරිපත් වී අදාළ වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින් පසුව පැවැති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූවා විය හැකිය. නමුත් එය සිදු වූ බව අපට විශ්වාස කළ හැකිය.

නීතිය කුමක් ද ?

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අදාළ ආදායම් සහ වියදම් වාර්තා ලබා නොදුන් පුද්ගලයින් සම්බන්ධයෙන් ගත යුතු නීතිමය පියවර පනතේ පැහැදිලිව දක්වා තිබේ. පනත අනුව අදාළ වාර්තා ලබා නොදෙන අපේක්ෂකයෙකුට රුපියල් 100,000ක දඩයක් පැනවිය හැකි අතර ප්‍රජා අයිතිය ද (මැතිවරණවලට ඉදිරිපත් වීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය) අහෝසි කළ හැකිය. නමුත් පසුගිය මැතිවරණ වලදි ඊට සපුරා පටහැණි තත්ත්වයක් උද්ගත වූ බව නොරහසකි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් පසුගිය අගෝස්තු 02 වැනි දින සංවිධානය කරන ලද 284 වැනි ‘කතිකාව’ සංවාදයේ දී ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂමංජුල ගජනායක මහතා විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.

මෙම අදහස් දැක්වීම සඳහා පාදක කරගෙන ඇත්තේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් 2026 වර්ෂයේ දී ඔහුගේ කර්තෘත්වයෙන් යුතුව ප්‍රකාශයට පත්කළ ‘2024 ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණවලදී අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කරන ලද මූල්‍ය වාර්තා පිළිබඳ විශ්ලේෂණය’ නම් කෘතිය යි.

ඉතිරි කොටස හෙට

සටහන – තුෂාල් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website