පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ප්රජාතන්ත්රවාදය සඳහා වන වෙස්ට්මින්ස්ටර් පදනමේ (WFD) තාක්ෂණික සහයෙන් සංවිධානය කළ “සුරැකුම් ආර්ථිකය සඳහා මූල්‍යකරණය: ඒ සඳහා පාර්ලිමේන්තුවේ භූමිකාව” (Financing the Care Economy: The Role of Parliament) යන තේමාව යටතේ පාර්ලිමේන්තු සංවාදයක් පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.
මෙම අවස්ථාවට පැමිණ සිටි පිරිස පිළිගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සහ කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මෙරට සුරැකුම් ආර්ථිකයක් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අතර, මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් සිය අමාත්‍යාංශය අදාළ සියලු ආයතන සමග කටයුතු කරමින් සිටින බව සඳහන් කළාය.
වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, තිරසාර ජාතික සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා සුරැකුම් ආර්ථිකය නිවැරදිව හඳුනාගෙන එය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, සමාජීය ඇතුළත්භාවය සහ සාධාරණ ආර්ථික සංවර්ධන අවස්ථා ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රතිපත්ති සඳහා ව්‍යවස්ථාදායක සහ අයවැය ක්‍රියාවලීන් තුළින් සහාය ලබාදීම පාර්ලිමේන්තුවේ වගකීමක් බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
වැඩසටහනේ මුඛ්‍ය දේශනය සිදු කළ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ළමා රැකවරණය, වැඩිහිටි රැකවරණය, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන සහාය සුරක්ෂිත කිරීම ඇතුළු සමාජ රැකවරණ සේවා සඳහා ආයෝජනය කිරීම සමාජ වගකීමක් පමණක් නොව, ශ්‍රම බලකායේ සහභාගීත්වය පුළුල් කිරීම, නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන උපායමාර්ගික ආයෝජනයක් බව පෙන්වා දුන්නාය.
මෙහිදී ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදී අයවැයකරණය තුළින් ආර්ථික වර්ධනයට බාධා වන සාධක අවම කරමින්, සමාජ රැකවරණය සඳහා වන ආයෝජන අනාගත ජාතික අයවැය තුළ වඩාත් ඵලදායී ලෙස පිළිබිඹු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයේ (CEPA) ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ගයාත්‍රී ලොකුගේ මහත්මිය විසින් වැඩසටහනේ තාක්ෂණික සැසි මෙහෙයවන ලදී. එහිදී ශ්‍රී ලංකාවේ සමාජ රැකවරණ ප්‍රතිපත්ති සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදී අයවැයකරණය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කෙරිණි.
එසේම, එක්සත් රාජධානියේ කාන්තා ජාතික කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂිකා සහ Women’s Budget Group හි සභාපතිනි ජැනට් වීච් OBE (Janet Veitch OBE) මහත්මිය “Invest in Women, Grow the Economy” මැයෙන් ඉදිරිපත් කිරීමක් සිදු කරමින්, සුරැකුම් ආර්ථිකය සඳහා ආයෝජනය කිරීම තුළින් කාන්තාවන්ගේ ආර්ථික සහභාගීත්වය ඉහළ නැංවීම, රැකියා උත්පාදනය, ආර්ථික වර්ධනය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදී අයවැයකරණය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් බෙදාහදා ගත්තාය.
දේශීය ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනවල නියෝජිතයින් විසින් ද සමාජ රැකවරණය ශක්තිමත් කිරීම සඳහා ඉදිරි අයවැය වෙන්කිරීම් සම්බන්ධ යෝජනා ඉදිරිපත් කළ අතර, කාල භාවිත සමීක්ෂණ, ආබාධ සහිත පුද්ගලයන් සඳහා සහාය වීමේ ක්‍රමවේද, වැඩිහිටි රැකවරණ සේවා පුළුල් කිරීම සහ පාසල් අවසන් වීමෙන් පසු ළමුන් සඳහා රැකවරණ වැඩසටහන් සම්බන්ධ යෝජනා ද ඒ අතර විය.
අනාගත ජාතික අයවැය තුළින් සුරැකුම් ආර්ථිකය සඳහා වන ආයෝජන ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා සහ සම්පත් අවශ්‍යතා පිළිබඳ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, ප්‍රතිපත්ති විශේෂඥයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.
ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියට අනුකූලව සැකසුනු ජාතික සමාජ ආරක්ෂණ උපාය මාර්ගයේ සමාජ රැකවරණය සදහා වන දෙවන ප්‍රධාන ස්ථම්භය පදනම් කොටගෙන, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ කම්කරු අමාත්‍යාංශය විසින් සම සභාපතිත්වය දරන ජාතික සමාජ රැකවරණ ක්‍රියාකාරී කණ්ඩායම විසින් ගොඩනැගුනු රැකවරණ ආර්ථිකය පිලිබද දස අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම නොබෝදිනකින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය වෙත ඉදිරිපත් වීමට කටයුතු සැලසෙමින් පවතින බවත්, ඉහත සියලුම කරුණු ඒ තුළින් ආවරණය වන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජනය කර පැමිණ සිටි නිලධාරිනිය එහිදී සඳහන් කළාය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) තාක්ෂණික සහය සහිතව, පුළුල් පාර්ශවකරුවන්ගේ උපදේශන මත මෙම ක්‍රියාවලිය සිදුවන බවද ඇය සඳහන් කළාය.
මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, ප්රජාතන්ත්රවාදය සඳහා වන වෙස්ට්මින්ස්ටර් පදනමේ (WFD) මෙරට අධ්යක්ෂ සන්ජේ විග්නරාජා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, රාජ්‍ය නිලධාරීන්, පර්යේෂකයින් සහ සංවර්ධන හවුල්කරුවන් එක්විය.














