ආනයනික කීරි පොන්නි සහල් සඳහා රජය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල (පාලන මිල) රුපියල් 255/- ඉක්මවා සහල් අලෙවි කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ නීතිරීති සහ විධානයන් උල්ලංඝනය කළ ගාල්ල, අක්මීමන, ගණේගොඩ පිහිටි සුභසාධක වෙළඳසැලකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026.07.17 දින සිදුකළ වැටලීමකදී, අදාළ වෙළඳසැල මඟින් රුපියල් 255/- ක උපරිම සිල්ලර මිල පැවති ආනයනික කීරි පොන්නි සහල් කිලෝවක් රුපියල් 270/- ක වැඩි මිලට පාරිභෝගිකයින්ට අලෙවි කිරීමේ චෝදනාව අනාවරණය කරගනු ලැබීය.
මෙම නඩුව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව 2026.07.23 වන දින ගරු අධිකරණය විසින් විත්තිකාර සමාගමට රුපියල් 500,000/- (ලක්ෂ පහක) දඩ මුදලක් නියම කළේය.












