බස්නාහිර සහ වයඹ පළාත් කුකුළු මස් අපනයන කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුමක්

රටේ කුකුළු මස් හා එහි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය වර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව, බස්නාහිර සහ වයඹ පළාත් අපනයන කලාප ලෙස සංවර්ධනය කිරීමේ ශක්‍යතාව පිළිබඳ මූලික තාක්ෂණික සාකච්ඡාවක් පසුගිය දා (24) පේරාදෙණිය අඛණ්ඩ අධ්‍යාපන ආයතනයේ (Institute of Continuing Education – ICE) දී දිනය පුරා පැවැත්විණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ පැවති මෙම සාකච්ඡාවේ දී, ජාත්‍යන්තර සත්ව සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව කුකුළු මස් හා එහි ආශ්‍රිත නිෂ්පාදන සඳහා අපනයන කලාපයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය තාක්ෂණික, නීතිමය, පරිපාලන සහ රෝග පාලන ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් ලෙස අදහස් හුවමාරු කරගැනිණි.

මෙම තාක්ෂණික කමිටුවේ සභාපතිත්වය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ආචාර්ය පාලිකා ප්‍රනාන්දු මහත්මිය විසින් දරන ලද අතර, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සංජික පෙරේරා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්වවිද්‍යාල විද්වතුන්, පෞද්ගලික කුකුළු කර්මාන්තයේ නියෝජිතයින් සහ ක්ෂේත්‍රයේ විශේෂඥයින් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

සාකච්ඡාවේදී කුකුළු කර්මාන්තයේ වත්මන් තත්ත්වය, ජෛව ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම, රෝග නිරීක්ෂණ ක්‍රමවේද, Newcastle රෝගය පාලනය, කලාපීය රෝග-නිදහස් තත්ත්වයක් (Disease-Free Zone) ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මෙන්ම අපනයන වෙළෙඳපොළවල සෞඛ්‍ය හා ගුණාත්මක අවශ්‍යතා පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ඉදිරි කාලසීමාව තුළ සිදුකළ යුතු ශක්‍යතා අධ්‍යයනය, නියාමන හා ආයතනික සූදානම, අදාළ රාජ්‍ය හා පෞද්ගලික පාර්ශ්වයන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගරු කේ. ඩී. ලාල්කාන්ත මැතිතුමාගේ හා   අමාත්‍යංශ ලේකම් තුමාගේ   මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ කෘෂි ආහාර අපනයන ඉහළ නැංවීම, ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රවේශය පුළුල් කිරීම සහ විදේශ විනිමය ආදායම වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් වනු ඇති බව මෙහි දී අවධාරණය විය.

ප්‍රවෘත්ති මුලාශ්‍රය: කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය (පශු සම්පත් අංශය)  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website