2026 ජනවාරි 1 සිට ජුනි 30 දක්වා ළමා අපයෝජන සහ ළමුන් සම්බන්ධ අනෙකුත් පැමිණිලි 5,523ක් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලැබී ඇතැයි එහි අධ්යක්ෂ නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය පැවසුවාය.
වාර්තා වී ඇති පැමිණිලි අතරින් වැඩි ප්‍රමාණයක් ‘CYPO 35 – රැකවරණය සහ ආරක්ෂාව අවශ්‍යයි’ යන වගන්තිය යටතේ කරන ලද පැමිණිලි බව ද ඇය පැවසුවාය.
“මෙම වගන්තිය නිසි භාරකාරත්වයක් නොමැති, අනතුරට නිරාවරණය වී ඇති හෝ අපයෝජනයට ගොදුරු වූ අවදානමට ලක්විය හැකි දරුවෙකු නම් කරයි, එවැනි පැමිණිලි 1,358ක් ලැබී තිබෙනවා” ඇය වැඩි දුරටත් පැවසුවාය.
ජූනි 30 වැනි දින දක්වා ලැබී ඇති පැමිණිලි අතර ළමා හිංසනය පිළිබඳ පැමිණිලි 1,100ක්, බරපතල ලිංගික අපයෝජන පිළිබඳ පැමිණිලි 60ක්, ලිංගික හිරිහැර පිළිබඳ පැමිණිලි 213ක්, ළමයින් නීති විරෝධී ලෙස පැහැරගෙන යාම පිළිබඳ පැමිණිලි 99ක්, ළමයින් වාණිජමය වශයෙන් ලිංගික සූරාකෑමට අදාළ පැමිණිලි 100ක්, ළමා ශ්‍රමය පිළිබඳ පැමිණිලි 82ක්, නව යොවුන් වියේ ගැබ්ගැනීම් පිළිබඳ පැමිණිලි 40ක්, ළමා විවාහ පිළිබඳ පැමිණිලි පහක්, දරුවන්ට එරෙහි සයිබර් ප්රචණ්ඩත්වය පිළිබඳ පැමිණිලි 112ක්, දරුවන් විසින් සියදිවි නසා ගැනීමට තැත් කිරීම සම්බන්ධ පැමිණිලි 13ක් ඇතුළත් බව ද අබේකෝන් මහත්මිය හෙළි කළාය.












