ආනයනය කළ මෝටර් රථ 1025ක් වරායේ හිරවෙලා: වෙන්දේසි කළත් විකිණෙන්නේ නැහැ – ශ්‍රී ලංකා රේගුව

මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ 1025ක් මාස තුනකට අධික කාලයක් පුරා හම්බන්තොට වරායෙන් ඉවත්කර නොගෙන තිබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ශ්‍රී ලංකා රේගු‌වේ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේ රේගු ආඥා පනතේ 109 වගන්තිය යටතේ මෙම වාහන වෙන්දේසි කිරීමේ හැකියාව පවතින නමුත් එය ද දීර්ඝ කාලීන ක්‍රියාවලියක් බවයි. එනිසා මෙම වාහන ඉවත් කර ගැනීමට අදාළ ආනයනකරුවන්ට සාධාරණ හේතු ඉදිරිපත් කළ හැකි නම් ඒවා නිදහස් කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසුවේය.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවේ තව දුරටත් කරුණු පැහැදිලි කරමින් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද පැවසුවේය, “මෙරටට ආනයනය කළ වාහන 1025ක් අධික ප්‍රමාණයක් ආනයනකරුවන් විසින් නිදහස් කර ගෙන යන්නේ නැතිව හම්බන්තොට වරායේ රඳවා ගෙ තිබෙනවා. ඒ වාහන වලින් 625ක් මාස හයක් තිස්සේ  හම්බන්තොට වරායේ රඳවා ගෙන තිබෙනවා. මම ඒ ගැන සොයා බැලුවා. මෙම වාහන ආනයනය කරලා මාස හයකට අධික කාලයක් ගත වෙලා තිබෙනවා.

මේ තත්ත්වයට විවිධ හේතු තිබෙන්න පුළුවන්. නමුත් මේ කිසිම වාහනයක් රේගු වරදක් සම්බන්ධයෙන් රේගුව විසින් රඳවා ගෙන නැහැ. ආනයනකරුවන් විසින් විවිධ හේතු මත තවමත් වාහන ඉවත්කර ගෙන නැහැ.

ඔවුන් වාහන ආනයනය කළාට මේ වන විට විශාල වාහන ප්‍රමාණයක් රට තුළ තිබෙනවා. ඒ නිසා වෙළෙඳපොළ ඉල්ලුම අඩුවෙලා වෙන්න පුළුවන්. නැතිනම් වෙනත් හේතු මත වෙන්න පුළුවන්, නමුත් වාහන 1025ක් රේගුවේ තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රේගුවට ගත හැකි පියවර ලෙස අපි දකින්නේ  රේගු ආඥා පනතේ 109 වැනි වගන්තියේ ඉතාම පැහැදිලිව තිබෙනවා, ‘කිසිදු රේගු වරදක් සිදු නොවුණත් අදාළ ආනයනකරුවන් විසින් මාසයක් ඇතුළත යම් භාණ්ඩයක් රේගුවෙන් ඉවත්කර නොගන්නේ නම් රේගුවට පුළුවන් එම භාණ්ඩ වෙන්දේසියේ හෝ ටෙන්ඩර් කර විකිණීම මඟින් ඒ මුදලින් රජයට අදාළ බදු මුදල් අය කර ගැනීමට. එම අලෙවිය මගින් යම්කිසි මුදලක් ඉතිරි වේ නම් වරායට අදාළ වරාය ගාස්තු, ගුදම් ගාස්තු ලබා ගන්න පුළුවන්. ඊටත් අමතරව යම්කිසි මුදලක් ඉතිරි වේ නම් අදාළ මුදල අදාළ භාණ්ඩයේ ආනයනකරුට ලබාදීමටත් හැකියාව තිබෙනවා.

නමුත් මාසයක් ගත වූ පසු අදාළ වරාය පරිපාලනය විසින් මේ බව ශ්‍රී ලංකා රේගුව වෙත දැනුම් දිය යුතුයි. මේ වන විට හම්බන්තොට වරාය පරිපාලනය විසින් මේ බව අප වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව 109 වගන්තිය යටතේ කටයුතු කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රේගුවට තිබෙනවා.

නමුත් යම්කිසි ආනයනකරුවෙක් සාධාරණ හේතු දක්වන්නේ නම් ඔහුට ‌ඒ වෙනුවෙන් යම්කිසි සහන කාලයක් ලබාදීමට අපි පියවර ගන්නවා.

ඒ වගේම මෙම වාහන ටෙන්ඩර් හෝ වෙන්දේසි කිරීමට යන්නේ නම් ඒකටත් සැලකිය යුතු කාලයක් ගත වෙනවා. ඒ වගේම මේ වාහන සියල්ලම නිවැරදිව පරීක්ෂා කිරීමක් ද කළ යුතුයි. ඒ වෙනුවෙන් සැලකිය යුතු කාලයක් සහ ශ්‍රමයක් වැය වෙනවා. ඒ වගේම ටෙන්ඩර් කළත් එකවරම ඒවා විකිණෙන්නේ නැහැ. පසුගිය ටෙන්ඩර් එකේ වාහන 45ක් විකිණීමට දාලා තිබුණා නමුත් වාහන 11යි එයින් අලෙවි වුණේ. ඉල්ලුම්කරුවන් ඉල්ලන මුදලත් අපි බලාපොරොත්තු වන මුදලත් අතර යම්කිසි වෙනසක් ඇති වුණොත් මේ තත්ත්වය ඇති වෙනවා.

මෙක තමයි ශ්‍රී ලංකා රේගුව ලෙස අපට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය. නමුත් මේ ආකාරයෙන් වාහන දහස් ගණනක් ආනයනය කරලා ඒක වරායෙන් ඉවත්කර නොගැනීම බරපතළ තත්ත්වයක්. අපි බරපතළ විදේශ විනියම අර්බුදය ඉන්න අවස්ථාවක ආනයනකරු‌වෝ විදේශ විනිමය වැය කරලා භාණ්ඩ ආනයනය කරලා ඒ භාණ්ඩ යළි රටේ ආර්ථික ක්‍රියාවලියට එක් නොකිරීම වරදක්. ඒ හරහා රටේ විදේශ විනිමය අපතේ යනවා. ඒ වගේම වරායේ භූමිය තමයි වාරයට ආදායමක් ලබා ගන්න තිබෙන එකම දේ.  මේ හරහා වරාය අධිකාරියටත් තමන් අදායම් අහිමි වෙනවා” රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website