ආබාධ සහිත පුද්ගලයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා නිවාස ආධාර වැඩසටහන්වලදී ප්‍රමුඛතාව

“තමන්ගේ තැනක් – ලස්සන ජීවිතයක්” සහ “සෙවණ ආධාර” නිවාස ආධාර වැඩසටහන් යටතේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී නිවසක් ඉදි කර ගැනීමේ අභියෝගයන්ට මුහුණ පා සිටින අබාධ සහිත පුද්ගලයන් සහ දිගුකාලීන නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගෙන් සමන්විත පවුල් සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බව අනාවරණය විය. මෙම වැඩසටහන් යටතේ එක් ප්‍රතිලාභී පවුලකට උපරිම වශයෙන් රුපියල්  1,000,000/- ක නිවාස ආධාරයක් ලබා දීමට කටයුතු යොදා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද  ප්‍රශ්නවලට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන ගරු නියෝජ්‍ය අමාත්‍ය  ටී. බී. සරත් මහතා පාර්ලිමේන්තුවේදී  ලබා  දුන්  පිළිතුරෙන් මේ බැව්  අනාවරණය විය. 

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුරු කථාවට අනුව, ඉඩමක් හිමි නමුත් නිවසක් නොමැති ආබාධ සහිත තැනැත්තන්ගේ නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා “තමන්ගේ තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන යටතේ නව නිවාස ඒකක 9,700ක් ඉදි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 9,700ක් දැනටමත් වෙන් කර තිබේ. එම වැඩසටහන යටතේ එක් ප්‍රතිලාභී පවුලකට  නව නිවසක් ඉදි කිරීම සඳහා රුපියල්  1,000,000/- ක ආධාර මුදලක් ලබා දීමට නියමිතය.

එමෙන්ම “සෙවණ ආධාර” නිවාස ආධාර වැඩසටහන යටතේ ආධාර නිවාස 295ක් ඉදි කිරීම සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල් මිලියන 715ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙම වැඩසටහන යටතේ තෝරා ගනු ලබන ප්‍රතිලාභීන්ට නව නිවසක් ඉදි කිරීම සඳහා රුපියල් 1,000,000/-ක් සහ පවතින නිවස වැඩිදියුණු කිරීම සඳහා රුපියල් 750,000/-ක මූල්‍ය ආධාරයක් ලබා  දීම සිදු වෙයි.

මීට අමතරව, අබාධ සහිත තැනැත්තකු ජීවත් වන නිවසක නිවසක වැසිකිළිය සහ නානකාමරය යෝග්‍ය ප්‍රමිතියකින් යුත් අංගෝපාංග සහිතව ඉදි කිරීමේ  වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ. ඒ අනුව බස්නාහිර පළාත තුළ ප්‍රවේශයට පහසුකම් සහිත වැසිකිළි 500ක් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, එක් වැසිකිළියක් සඳහා රුපියල් රුපියල් 1,000,000/- ක ආධාර මුදලක් ලබා දීමට නියමිතය. තවද, රජය විසින් ඉදි කරනු ලබන කාර්ය මණ්ඩල නිවාස, බහුමහල් නිවාස, උස් නේවාසික ගොඩනැගිලි සහ කුලී නිවාස ව්‍යාපෘතිවලදී බාධක රහිත (Barrier-Free) සැලසුම් අනිවාර්යයෙන්ම ඇතුළත් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, එවැනි නිවාස ව්‍යාපෘතිවල ඉදි කරනු ලබන සෑම නිවාස ඒකක 25කට අවම වශයෙන් එක් නිවාස ඒකකයක් ද, ඉන් අනතුරුව ඉදි කරනු ලබන සෑම අතිරේක නිවාස ඒකක 100කටම තවත් එක් නිවාස ඒකකයක් ද ආබාධ සහිත තැනැත්තන් සඳහා වෙන් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website