සමාජයේ සියලු දෙනාට හිමි අයිතිවාසිකම් ආබාධ සහිත පුද්ගලයන්ටත් හිමි විය යුතුයි – අගමැති හරිනි අමරසූරිය

සමාජයේ සියලු දෙනාට හිමි අයිතිවාසිකම් ආබාධ සහිත පුද්ගලයන්ටත් හිමි විය යුතුයි යන පදනමේ සිට වත්මන් රජය රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

ශාරීරික සීමාවන් තම අධ්‍යාපන සිහිනවලට බාධාවක් කර නොගත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන “සරසවි දිරියෝ අභිමන්” සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති අතර එහි දී අග්‍රමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය;

අද දවස අපේ රටේ ඉතිහාසයේ විශේෂයෙන්ම ජනාධිපති අරමුදලේ ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂී දිනයක්. ගත වූ වසර එකහමාරක කාලය ඇතුළත ගත් තවත් සුවිශේෂී පියවරක් අද ක්‍රියාත්මක වෙනවා. ජනතාවාදී ජනාධිපති අරමුදලක් ඇති කිරීමේ ප්‍රයත්නයේ තවත් සාර්ථක පියවරක් තැබූ දවසක් බව කිව යුතුයි. අප රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම ලේසි නැහැ. ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. ලක්ෂ ගණනක් දරුවන් උසස් පෙළ සමත් වුණාට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ ඊට සාපේක්ෂව ඉතා සුළු පිරිසක්. අද මෙහි සිටින්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ඉතාම ධෛර්යයවන්ත සහ අධිෂ්ඨානශීලී පුරවැසියන් පිරිසක්. ඔබ අභියෝග ගණනාවක් ජයගෙන, දිනපතා ඒ අභියෝගවලට මුහුණ දෙමින් තමයි මෙතැනට පැමිණ තිබෙන්නේ. ඔබට යම් ඇගයීමක් කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා. ඔබ ඇත්තටම සමාජයට, රටටම ආදර්ශයක්. ඔබේ ධෛර්යයට අපි ගරු කරනවා.

ආබාධ සහිත ප්‍රජාව සමාජයේ කොටසක්. සමාජයේ සියලුම දෙනාට හිමි අයිතිවාසිකම් ආබාධ සහිත පුද්ගලයන්ටත් අයිතියි කියන පදනමේ සිටගෙන අපේ රජය ප්‍රතිපත්ති සකස් කරමින් සිටිනවා. සියලු පුළුල් පරාසයන් දෙස බලා මේ විවිධත්වයන් අපේ අධ්‍යාපන පද්ධතිය තුළ පිළිගන්නවා කියන පණිවිඩය අපි දිය යුතුයි. ඒ විවිධත්වයන් තුළින් ‌ඉගෙන ගෙන ඉහළටම යන්න පුළුවන් කියන විශ්වාසය සමාජය තුළ ගොඩනැඟිය යුතුයි.

විශ්වවිද්‍යාල පද්ධතියට ආබාධ සහිත දරුවන් ඇතුළත් කර ගත්තේ විශාල සටනකින් පසුවයි. දැන් ශිෂ්‍යන්ට ඕනෑම විෂයක් හැදෑරීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. ඒ අයිතිය ලබා ගැනීමට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යෑමට අවශ්‍ය වටපිටාවව සකස් කිරීම අප සියලු දෙනාගේ වගකීමක්.

සෑම විශ්වවිද්‍යාලයකම ආබාධ සහිත සිසු සිසුවියන් වෙනුවෙන් විශේෂ ඒකක තිබිය යුතුයි. අධ්‍යාපනය ඩිජිටල්කරණ කාර්යසාධක බළකාය මේ පිළිබදව අධ්‍යයනය කළ යුතුයි. මේ සම්බන්ධව නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. සියලුම විවිධත්වයන් පිළිගන්න පුළුවන් විශ්වවිද්‍යාල බිහි කිරීමේ වගකීම තිබෙනවා. මෙය අත්හැරි නොහැකි වගකීමක්.

සමාජයේ කොටසක් මගහැර දියුණු සමාජයක් ගොඩනගන්න බැහැ. දිවයිනේ බහුතරයක් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන, විශේෂ අවශ්‍යතා සහිත සිසු දරු දැරියන් 236 දෙනෙකු පළමු අදියර යටතේ අද ඇගයීමට පාත්‍රවෙනවා. ඔබ වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් රුපියල් මිලියන 23.6 ක ප්‍රතිපාදන ලබා දෙමින් සිදු කරන මේ මහඟු කාර්යය රජය වෙනුවෙන් මම අගය කරනවා. ඔබ සමග දෙමාපියන්ටත් මම ගෞරවයක් පුද කරන්න කැමතියි. ඔබ වෙනුවෙන් ඔවුන් විශාල සටනක් කර තිබෙනවා. ඔබේ දරුවන්ගේ අනාගතය තහවුරු කිරීමට ඔබ දිවා රෑ නොබලා මහන්සි වූ බව අපි දන්නවා.

ඔබ ලබන උසස් අධ්‍යාපනය රටේ තිරසර සංවර්ධනයට දායක කරගත හැකි පරිදි අවස්ථා නිර්මාණය කර ගැනීමටත්, ඒ සදහා අවශ්‍ය වෘත්තීය මඟපෙන්වීම ලබා දීමටත් රජයක් ලෙස අපි උපරිමයෙන් ක්‍රියා කරනවා. ඔබ රටට බරක් නෙමෙයි. ඔබ රටට වටිනා මානව සම්පතක්. ඔබ මේ සමාජයේ කොටස්කරුවන්. ඔබ තුළ තිබෙන සිහින සැබෑ වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website