වඩාත් යහපත් පොදු ප්‍රවාහනයක් උදෙසා පොකුරු බස් සමාගම් ක්‍රමය අරඹනවා – අමාත්‍ය බිමල් රත්නායක

වඩාත් යහපත් පොදු ප්‍රවාහනයක් උදෙසා පොකුරු බස් සමාගම් ක්‍රමය ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගියදා හිමි වූ බවත්  ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවති ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා ලෙස අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව 177, 170 සහ 190 යන මාර්ග අංකයන්හි ධාවනය වන බස් රථවලට අදාළව,  නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, සුඛෝපභෝගී සේවා හා අධි සුඛෝපභෝගී සේවා ලෙස පෙර පැවති කාණ්ඩ හතරෙන්  ‍ අර්ධ සුඛෝපභෝගී සේවා හා අධි සුඛෝපභෝගී සේවා කාණ්ඩ දෙක ඉවත්  කිරීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.  අර්ධ සුඛෝපභෝගී සේවා සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් පවතින බවත් ඊට අදාළ කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. දුර ගමන් සේවා සහ කෙටි දුර ගමන් සේවා සඳහා බස් ගාස්තු තීරණය කිරීමට එකම සූත්‍රයක් භාවිතා කිරීම සාධාරණ නොවන බැවින් දුර ගමන් සේවා සඳහා දැරීමට සිදුවන වැඩි පිරිවැය සැලකිල්ලට ගෙන දුර ගමන් බස් ගාස්තු තීරණය කිරීම සඳහා වෙනම ක්‍රමවේදයක් හදුන්වා දෙන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. බස් කර්මාන්තය රැක ගැනීමටත් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කරන බව ද ඒ මහතා අවධාරණය කළේය.

ඉන්ධන මිල අඩුවීමේදී බස් ගාස්තු අඩු කිරීමට ඇති හැකියාව පිළිබඳව කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටියේය. තෙල් මිල අඩුවන ප්‍රමාණයට සාපේක්ෂව අනෙකුත් පිරිවැය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම ගැටලුවක් බව නිලධාරීහු එහිදී පෙන්වා දුන්හ.

මාර්ග අනතුරු අවම කිරීම, පාපැදි සහ යතුරු පැදි සඳහා වෙනම මං තීරුවක් සකස් කිරීම, මාර්ග සංවර්ධන කටයුතු, මගී ජනතාවට ඉතිරි මුදල් නොලැබීම සම්බන්ධ පැමිණිලි ඇතුළු කරුණු රැසක් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර අදාළ පියවර ගැනීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දීම ද සිදුවිය. 

එසේම ප්‍රවාහන හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවලට අදාළව ගරු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙස ද කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

තවද, (203 අධිකාරිය වූ ) මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 මාර්තු 19 දිනැති අංක 2480/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සලකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී කාරක සභාවේ එකඟත්වය පළවිය.

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකර නොමැති ආසන සඳහා ආසන පටි සවිකිරීමට ලබා දුන් සහන කාලය ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වූ බැවින් එම සහන කාලය 2026.03.20 වැනි දිනයෙන් ආරම්භ වී 2026.06.19 වැනි දිනයෙන් අවසාන වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා මෙම නියෝග ප්‍රකාශයට පත්කර ඇත.

නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website