පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තැනැත්තන් වෙළඳාම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කරන ලද “තැනැත්තන් වෙළඳාම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්” පාර්ලිමේන්තු සංකීර්ණයේදී  නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන, “තැනැත්තන් වෙළඳාම” සහ “මිනිස් ජාවාරම” සම්බන්ධ නව ප්‍රවණතා, නීතිමය, සංවර්ධන සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනුවත්භාවය වර්ධනය කිරීමත්, නීති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමත් අරමුණු කර ගෙන පැවැත්විණි.

මෙම වැඩසටහන නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂඥ සම්පත්දායකයින්ගේ සහභාගීත්වයෙන් සිදු විය. එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ හරිප්‍රිය ජයසුන්දර මහත්මිය  සහ  රජයේ නීතිඥ සජිත් බණ්ඩාර  මහතා සම්පත් දායකත්වය ලබා දුන්හ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා  මහතා මෙහිදී අදහස් දක්වමින්, තැනැත්තන් වෙළඳාම කාලයත් සමඟ වෙනස් වෙමින්, සංවිධානාත්මක ජාත්‍යන්තර අපරාධ ජාල සමඟ සම්බන්ධ වෙමින් පවතින කියා සිටියේය.

රැවටිලිකාර විදේශ රැකියා අවස්ථා, වංචනික බඳවා ගැනීම්, සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කරන බඳවා ගැනීම්, බලහත්කාරී ශ්‍රමය, ලිංගික සූරාකෑම් සහ ඇතැම් අවස්ථාවලදී බලහත්කාරී අපරාධ කටයුතු සඳහා යොදා ගැනීම වැනි තත්ත්වයන්, සංවිධානාත්මක ජාතික ප්‍රතික්‍රියාවන් අවශ්‍ය වන්නා වූ  ප්‍රධාන ගැටලු බවට පත්ව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ 2026–2030 ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳවද මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කෙරිණි. එය තැනැත්තන් වෙළඳාම වැළැක්වීම, ගොදුරු වූවන් හඳුනාගෙන ආරක්ෂා කිරීම, අපරාධ නීතිමය ප්‍රතිචාර ශක්තිමත් කිරීම සහ රාජ්‍ය ආයතන අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීම යන ප්‍රධාන අංශ හතර මත පදනම් වේ.

තැනැත්තන් වෙළඳාම සම්බන්ධ නව ප්‍රවණතා, විශේෂයෙන් තාක්ෂණය මත පදනම් වූ බඳවාගැනීම්, රැවටිලිකාර සංක්‍රමණ ක්‍රම, ශ්‍රම සූරාකෑම් සහ බලහත්කාරී අපරාධ කටයුතු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා  පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ  සභාපති සම්පත් තුයියකොන්තා, ආරක්ෂක අමාත්‍යාංශයේ  අතිරේක ලේකම්  සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධකබලකායේ ලේකම් (වැඩබලන) නීතිඥ ප්‍රියංගනී හේවාරත්න, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) චින්තා බුලත්සිංහල, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) පී.එච්.  කුමාරසිංහ යන මහත්ම මහත්මීන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ හා පාර්ලිමේන්තුවේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website