ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ෆ්‍රැන්චයිස් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය ආරම්භ කර තිබේ. ජූලි 17 වැනිදා ආරම්භ වන LPL තරගාවලියේ සියලුම තරග සඳහා ප්‍රවේශපත්‍ර BookMyShow වෙබ් අඩෙිවියට පිවිසෙමින් මිලදී ගත හැක.
තරගාවලියේ හයවැනි අදියර ජූලි 17 වැනිදා ආරම්භවී අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර, සමාරම්භක තරගය ජූලි 17 වැනිදා සවස 7.30ට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය. එදින තරගය ආරම්භ වීමට පෙර ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විශේෂ ඩ්‍රෝන සංදර්ශනයක්ද සංවිධානය කර තිබීම විශේෂත්වයකි.
තරගාවලිය සඳහා ප්‍රවේශපත්‍ර මිල ගණන් ක්‍රීඩාංගණ අනුව වෙනස් වන අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණය සඳහා රුපියල් 300, 1000 සහ 1500 ලෙසත් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සඳහා රුපියල් 300, 500, 1000, 2000, 2500 සහ 3000 ලෙසත් නියම කර ඇත.
එමෙන්ම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය (PICS) සඳහා ප්‍රවේශපත්‍ර රුපියල් 400, 1000, 2500 සහ 5000 ලෙසත්, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සඳහා රුපියල් 500, 1000, 1500, 2500, 5000 සහ 7500 ලෙසත් අලෙවි කෙරේ.
මෙවර LPL තරගාවලියත් තරගකාරීත්වයෙන් මෙන්ම විනෝදාස්වාදයෙන්ද පිරිපුන් ක්‍රිකට් සැණකෙළියක් බවට පත් කිරීමට සංවිධායකයන් සැලසුම් කර ඇති අතර තරගාවලියේ ආරම්භක දිනයේ සිටම ප්‍රේක්ෂකයන්ට සුවිශේෂී අත්දැකීමක් ලබාදීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.














