ශ්‍රී ලංකාව සහ ඉන්දීය අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (04) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියට පෙර අද දිනයේදී දෙපිළම ක්‍රීඩකයින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සිය අවසන් පුහුණු සැසි සඳහා සහභාගිව සිටියහ.
තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා U19 නායක විමත් දින්සර පවසන්නේ කණ්ඩායම ඉතා හොඳ සූදානමකින් මෙම තරගාවලියට පිවිස ඇති බවයි. කොළඹදී දින කිහිපයක් පුරා ඉන්දියානු සංචාරය ඉලක්ක කරගෙනම දැඩි පුහුණු සැසි පැවැත්වූ බවද ඔහු සඳහන් කළේය.
“හොඳ ප්‍රෙපරේෂන් එකක් තියෙනවා. ගිය දවස් ටිකේම කොළඹදී ප්‍රැක්ටිස් කළා, ඉන්දියා ටුවර් එකටම. ඒ වගේම අපිට හොඳ අත්දැකීම්වලින් සමන්විත ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඉන්නවා “ යනුවෙන් විමත් දින්සර සඳහන් කළේය.
කණ්ඩායමේ සංයුතිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ලෝක කුසලාන අත්දැකීම් ඇති ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සිටීම කණ්ඩායමේ ශක්තියක් බවයි. එම අත්දැකීම් නවක ක්‍රීඩකයින්ට විශාල ඉගෙනීමක් වනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
එසේම, 2028 වසර ඉලක්ක කරගෙන ඉදිරියට යා හැකි ක්‍රීඩකයින්ද කණ්ඩායමේ සිටින බවත් මෙම තරගාවලිය ඔවුන්ට වැදගත් අත්දැකීම් මාලාවක් වනු ඇති බවත් නායකයා සඳහන් කළේය.
තම කණ්ඩායම සතුව ශ්‍රී ලංකා ඒ’ සහ නැගීඑන කණ්ඩායම් නියෝජනය කරමින් අත්දැකීම් ඇති ක්‍රීඩකයින් තුන්දෙනෙකුද සිටින බව සඳහන් කර සිටියේය. කුගදාස් මාතුලන් සහ කවීජ ගමගේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් වන අතර චාමික හීනටිගල නැගීඑන කණ්ඩාය නියෝජනය කරන ලද ක්‍රීඩකයා වෙයි.
කණ්ඩායමේ පළපුරුද්ද පිළිබඳවද අදහස් දක්වමින් දින්සර කියා සිටියේ ලෝක කුසලාන අත්දැකීම් ඇති ක්‍රීඩකයින් 5–6 දෙනෙකු පමණ කණ්ඩායමේ සිටින බවයි. එමඟින් නවක ක්‍රීඩකයින්ට තරගාවලියේදී හොඳ මඟපෙන්වීමක් ලැබෙනු ඇති බවද ඔහු විශ්වාසය පළ කළේය.
ඉන්දීය යොවුන් කණ්ඩායමද තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශක්තිමත් සංචිතයක් ලෙස සැලකේ. එහි බහුතරය 2028 ලෝක කුසලානය ඉලක්ක කරමින් සකස් කර ඇති ක්‍රීඩකයින් වන අතර පසුගිය ලෝක කුසලාන අත්දැකීම් ඇති ක්‍රීඩකයින් කීප දෙනෙකුම රැඳී සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය අභියෝගයට හොඳ සටනක් ලබාදීමට සූදානම් බවත්, පළමු තරගය තුළින්ම ශක්තිමත් ආරම්භයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් නායක විමත් දින්සර වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය.
source:srilankacricket.lk














