ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 50 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන කාන්තා හා පිරිමි පාපැදි තරඟාවලිය වෙනුවෙන් හෙට (04) බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
තරඟාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සහ එම මාර්ගවල සාමාන්‍ය රථවාහන ගමනාගමනයට බාධාවක් නොවන පරිදි රථවාහන පාලනය සිදු කිරීමට අදාළ පොලිස් වසම්වල රථවාහන අංශ නිලධාරීන් යොදවා ඇත.
ඒ අනුව, තරඟ පැවැත්වෙන කාලසටහන සහ ගමන් ගන්නා මාර්ග පහත පරිදි වේ.
පිරිමි පාපැදි තරඟය:
හෙට උදෑසන 08.30 ට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ වේ. තරඟය හයිලෙවල් මාර්ගය ඔස්සේ මහරගම, කොට්ටාව, මීපේ, කලුඅග්ගල, අවිස්සාවේල්ල, කරවනැල්ල, රුවන්වැල්ල, ගලිගමුව හන්දිය, වරකාපොල, නිට්ටඹුව, කඩවත, පෑලියගොඩ, බොරැල්ල කනත්ත වටරවුම, බෞද්ධාලෝක මාවත සහ නිදහස් වටරවුම හරහා ගමන් කර නැවත ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටින් අවසන් වීමට නියමිතය.
කාන්තා පාපැදි තරඟය:
එම දිනයේම උදෑසන 09.00 ට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ වනු ඇත. තරඟය හයිලෙවල් මාර්ගය ඔස්සේ මහරගම, කොට්ටාව, මීපේ හන්දියෙන් හංවැල්ල දෙසට හැරී පහත්ගම බෝගහ අසලින් නැවත හරවා මීපේ මංසන්ධිය, ගොඩගම, හෝමාගම, මහරගම, නුගේගොඩ, තුංමුල්ල වටරවුම සහ නිදහස් වටරවුම හරහා ගමන් කර ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටින් අවසන් වනු ඇත.
තරඟාවලිය පැවැත්වෙන මෙම කාලසීමාව තුළ අදාළ මාර්ගවල ගමන් ගන්නා රියැදුරන් සහ මහජනතාව තරඟකරුවන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත්, මාර්ග සංඥා සහ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.














