පාර්ලිමේන්තුව ජූලි 07 සිට 10 දක්වා රැස්වීමට නියමිත ය. එම පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගිය 25 සහ 26 දෙදින නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී තීරණය විය.
අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති ජූලි 8 බදාදා හැර අන් සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
ජූලි 07 අගහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා (188 අධිකාරිය වූ) පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ දූෂණ විරෝධි පනත යටතේ අංක 2482/03 සහ 2482/04 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව ඇත.
ජූලි 08 බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.
අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 3.30 දක්වා ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ අංක 2468/06 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, (235 අධිකාරිය වූ) රේගු ආඥා පනත යටතේ අංක 2478/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය, (203 අධිකාරිය වූ ) මෝටර් වාහන පනත යටතේ අංක 2480/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2478/04 සහ 2479/38 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියමයන් විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබේ.
අනතුරුව ප.ව. 3.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙන යෝජනාවට අනුව, විදේශ ශ්‍රමිකයන්ගේ ගැටලු පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත.
ජූලි 09 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ(සංශෝධන), මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වයට අදාළ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.
ජූලි 10 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතව ඇත.
| පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නම | පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නම |
| නලින් බණ්ඩාර මහතා | ඉන්ධන පිරිවුම්හල් සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාදාමය නියාමනය කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම |
| උපුල් කිත්සිරි මහතා | රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ධාසයට අයත් මඩුවන්වෙල වලව්ව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන ආරක්ෂා කිරීම |
| ආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා | “ශ්‍රී ලංකා බයිතුල්මාල් අරමුදල” නමින් අරමුදලක් ආරම්භ කිරීම |
| නීතීඥ හිරුනි විජේසිංහ මහත්මිය | පාසැල් සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය, වෘත්තිය සංවර්ධනය සහ පුද්ගල සමාජ සංවර්ධනය සඳහා සෑම පාසලකටම පුහුණුව ලත් මනෝ උපදේශකවරයෙකු (Student Counsellor) කිරීම |
| රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය | විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වන “රටවිරුවන්” වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් සකස් කිරීම |
| රුවන්තිලක ජයකොඩි මහතා | ශ්‍රී ලංකාවේ පාසැල් පද්ධතිය තුළ පිහිටි ආපන ශාලාවන්හි ළමුන්ට අහිතකර ආහාර අලෙවි කිරීම නතර කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම |
| රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා | යාපනයේ සංචාරක සේවා ප්‍රවර්ධනය කිරීම හා ආර්ථිකය සංවර්ධන කිරීම |
අනතුරුව ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
















