2026 වසර සඳහා අදාළ විභාග කාලසටහන කිසිදු වෙනස් කිරීමකින් තොරව අදාළ දිනයන්හිදීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතින බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැසුවාය.
අද (24) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්දීමේ හමුවකට එක්වෙමින් ඇය පැවසුවේ, 2025.09.14 වෙනදා නිවේදනය කළ පරිදි 2026 වසර සඳහා වූ විභාග කාලසටහන ඉදිරියේදී ක්‍රියාත්මක වන බවයි.
සියලුම විභාග සඳහා සිසුන්ට අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවශ්‍ය කාලය සලකා බැලීමෙන් අනතුරුව මෙම කාලසටහන සකස් කළ බව ද ඇය එහිදී පෙන්වා දුන්නාය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙසේ ද පැවසුවාය, “මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට අධ්‍යයන කටයුතුවල යෙදීමට අවශ්‍ය දින ගණන සලකා බලා තමයි විභාගය පැවැත්වෙන දින තීරණය කළේ. ඒ අනුව 2025 වර්ෂයේ නව වන මාසයේ 14 වැනි දින අපි 2026 වර්ෂයේ විභාග කාලසටහන නිකුත් කළා. 2026 උසස් පෙළ විභාගය ඒ අනුව 2026 අගෝස්ත් 10 වැනි දින සිට සැප්තැම්බර් මස 05 වැනි දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.
මේ වන විට විභාගය සඳහා අවශ්‍ය කාලසටහන ප්‍රසිද්ධ කර අවසන්. ඒවගේම විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු ජූලි මාසයේ සිදුකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව විභාගයේ ඉදිරි කටයුතු සූදානම් වෙමින් පවතිනවා.
ඒ වගේම තමයි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය. මේ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම 2026 මාර්තු මස 30 වැනි දින ආරම්භ වෙලා අප්‍රේල් මස 30 වැනිදා අවසන් වුණා. ඒ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වැනි දින පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
එසේම 2026 වර්ෂයේ 12 වැනි ශ්‍රේණියේ දරුවන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) ඔක්තෝබර් මස 10 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. එම විභාගයෙත් අයදුම් පත්‍ර කැඳවීම ජූනි මාසයේ 22 වැනිදා ආරම්භ කළ අතර ජූලි 16 වැනිදා අයදුම් පත්‍ර කැඳවීම අවසන් වීමට නියමිතයි.
එසේම 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයත් අපි කාලසටහටනේ සැලසුම් කර ඇති පරිදි දෙසැම්බර් මස 08 වැනි දින ආරම්භ කර දෙසැම්බර් මස 17 වැනි දින අවසන් වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සඳහාත් ජූලි මාසය ආරම්භයේ දීම අයදුම් පත්‍ර කැඳවීමට පියවර ගන්නවා.
ඒ වගේම මේ විභාගවලට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමටත් තිබෙනවා. උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ උසස් පෙළ විභාගය අවසන් වූ පසුත්, විභාගය පැවැත්වෙන අතරතුර විභාගයේ ඇගයීම් කටයුතත් සිදුවෙනවා.
ඒ වගේම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වූ වහාම එහි ඇගයීම් කටයුතු ආරම්භ කරනවා. ඒ අනුව අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට කලින් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගන්නවා.
ඒ වගේම අපොස සාපෙළ ප්‍රායෝගික පරීක්ෂණ මීට පෙර සිදු වුණේ විභාගය අවසන් වූ පසු. නමුත් විභාගය අවසන් වූ පසු දරුවන් ප්‍රායෝගික පරීක්ෂණවලට ඉදිරිපත් වීමේ අඩුවක් තිබෙනවා. එය ඔවුන්ගේ අවසන් ප්‍රතිඵලයට බලපානවා. ඒ නිසා මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පෙර ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තිබෙනවා. විභාගය අවසන් වූ පසු ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන විට දරුවන ඒ සඳහා ඉදිරිපත් නොවීමේ ගැටලුවට විසඳුමක් ලෙස තමයි මෙම තීරණය ගත්තේ. මේ සම්බන්ධයෙන් පාසල් දැනුවත් කර ඇති අතර ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය පියවර ද ගෙන තිබෙනවා”.














