වැට් (VAT) බදු ක්‍රමය හේතුවෙන් දේශීය අමුද්‍රව්‍ය සපයන්නන් මුහුණ දී ඇති ගැටලු වෙනුවෙන් ලබා දිය හැකි වෙනත් සහන පිළිබඳ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා ව්‍යාපාරිකයන්ට දැනුම් දුන්නේය.
ජනපතිවරයා මෙම ඉල්ලීම කළේ ඩොලර් ආදායම ඉහළ නංවමින් ශක්තිමත් අපනයන ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්රයේ ගැටලුවලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.
වෙළෙඳපොළ අවස්ථා ඉහළ නංවා ගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කර ගැනීම සහ කෝටා ප්‍රමාණයන් ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
වෙළඳාම සහ ආයෝජන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා “වෙළඳාම සඳහා වූ ජාතික තනි කවුළුව” මෙම ජූලි මාසය අවසන් වන විට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, ආයෝජන සඳහා වූ ජාතික තනි කවුළුව මෙම වසර අවසානය වන විට සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබෙන බවත් මෙහි දී සඳහන් කෙරිණි.















