ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි ජූනි 24, 25 සහ 26 ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්

කෙටි කාලීන ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු  ක්‍රියාමාර්ග පිළිබඳ චක්‍රලේඛ නිකුත් කිරීමටත්, ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (22) පස්වරුවේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගන්නා ලදි.

එසේම ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් අධීක්ෂණ ඒකකයක් පිහිටුවීම සහ නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමටද, මේ වන විට ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා ශක්ති සහ මහජන ආරක්ෂක කමිටු මඟින් ඩෙංගු මර්දන කටයුතු තව දුරටත් ශක්තිමත් කිරීමටද මෙහිදී තීරණය විය.

මේ වන විට පාසල්, කර්මාන්තශාලා, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන බහුල වශයෙන් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන ලෙස හඳුනා ගෙන ඇති බැවින් එම ස්ථාන ආවරණය වන පරිදි කෙටි කාලීන ක්‍රියාමාර්ග කඩිනම් කිරීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධාරණය කරන ලදී.

තවද වරින් වර ඇතිවන මෙවැනි ප්‍රවණතා මග හරවා ගැනීමට ගත යුතු දිගු කාලීන ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website