ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය ජනමාධ්‍යයට නව යුගයක් උදා කරයි ද ? නිදහසට වළ කපයි ද ?

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය පිහිටුවීම සඳහා වන ගැසට් පත්‍රය පසුගිය ජූනි 05 වැනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නියමය පරිදි රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබුවේ ය. ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙම පනත් කෙටුම්පත ඉදිරි දිනක දී පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා බවත් පනත පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පසු පනතේ ප්‍රතිපාදන අනුව ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ය.

මෙම පනත් කෙටුම්පතට අනුව ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය පිහිටුවීමේ පරමාර්ථ වන්නේ, මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මාධ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් වෘත්තිමය සංවිධනායක් ලෙස ක්‍රියා කිරීම, ආයතනයේ සාමාජිකයින් වීමට අවශ්‍ය සුදුසුකම් ලබා ඇති මාධ්‍ය වෘත්තිකයන් බඳවා ගැනීම, ආයතනයේ සාමාජිකයන්ට සහ ශිෂ්‍යයන්ට මාධ්‍ය විෂය පිළිබඳ ඉගැන්වීම සහ පුහුණු කිරීම, ආයතනයේ සාමාජිකයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ මෙන්ම මාධ්‍ය වෘත්තිකයන්ගේ ද කුසලතාවල සහ ප්‍රායෝගික පුහුණු ක්‍රියාකාරකම්වල ප්‍රමිති වැඩි දියුණු කිරීම, ආචාර ධර්ම සංග්‍රහයන්ට අනුව ආයතනයේ සාමාජිකයන් සහ ශිෂ්‍යයන් අතර වෘත්තිමය විනය පවත්වාගෙන යාම, නව ගෝලීය සන්නිවේදනය සහ මාධ්‍ය ප්‍රවණතා වර්ධනය කිරීමට සහ ඒ සඳහා පහසුකම් සැලැස්වීම පිණිස මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පර්යේෂණ පැවැත්වීම, මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ සම්මන්ත්‍රණ, වැඩමුළු සහ සම්මේලන පැවැත්වී සහ ජර්නල් සහ සඟරා පළ කිරීම, ශ්‍රී ලංකාව තුළ වඩාත් හොඳ වෘත්තිමය මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම පිණිස ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයන්හි මාධ්‍ය ක්ෂේත්‍රයේ ආයතන සමඟ සහයෝගීතාවයෙන් මාධ්‍යයට අදාළ අධ්‍යාපන, පුහුණු කිරීම සහ ශිෂ්‍යත්ව වැඩසටහන් හුවමාරු කර ගැනීම, මාධ්‍ය වෘත්තිකයන්ගේ කාර්යක්ෂමතාවය ඇගයීමේ දී මාධ්‍ය වෘත්තියභාවයෙන් යුත් මාධ්‍ය වෘත්තිකයන් පිළිගැනීමට ලක් කිරීම, සහ ආයතනයේ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමට ආනුෂාංගික වන හෝ උපකාරී වන සියලු ක්‍රියා සහ දේවල් සිදු කිරීම.

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය 24ක් පනත් කෙටුම්පතේ 04 වන ජේදයේ (අ සිට බ දක්වා සඳහන් වේ) දක්වා ඇති අතර ඍජුව මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ බලතල කාර්ය සහ කර්තව්‍ය කිහිපයක් පහත දැක්වේ.

ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය අධ්‍යාපනය සහ මාධ්‍ය වෘත්තීයභාවය වැඩිදියුණු කිරීම අරමුණු කරනු ලබන යම් සැලසුමක්, වැඩසටහනක් හෝ ක්‍රියාකාරකමක් පිළිබඳ අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම, ආයතනය විසින් පවත්වනු ලබන අධ්‍යාපන පාඨමාලා නිශ්චය කිරීම, ආයතනයේ ශිෂ්‍යයන්ව ලියාපදිංචි කිරීම සහ බඳවා ගැනීම නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම, එකී ශිෂ්‍යයන් විෂයෙහි විනය පාලනය ක්‍රියාත්මක කිරීම සහ ඊට ආනුෂාංගික වෙනත් යම් කාරණාවක් සිදු කිරීම, ප්‍රායෝගික පුහුණු පාඨමාලා වැඩපිළිවෙළ නිශ්චය කිරීම සහ අනුමත කිරීම සහ එවැනි පාඨමාලා පැවැත්වීම, ආයතනයේ සාමාජිකත්වය සඳහා යෝග්‍යතා විභාග පැවැත්වීම, ආයතනයේ සාමාජිකයින්ගේ, මාධ්‍ය වෘත්තිකයන්ගේ, ආයතනයේ ශිෂ්‍යයන්ගේ සහ මාධ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන තැනැත්තන්ගේ භාවිතය සඳහා පුස්තකාල පවත්වාගෙන යාම, ආයතන විසින් පවත්වනු ලබන අධ්‍යයන වැඩසටහන්වල විශිෂ්ටත්වයන් දක්වා ඇති තැනැත්තන් සඳහා ශිෂ්‍යත්ව, සම්මාන සහ ත්‍යාග ප්‍රදානය කිරීම, ආයතනයේ පරමාර්ථ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රැස්වීම්, දේශන, වැඩමුළු, සම්මන්ත්‍රණ සහ සම්මේලන සංවිධානය කිරීම, මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිමය ප්‍රමිති හඳුන්වා දීම, එම ප්‍රමිති සංවර්ධනය කිරීම, පවත්වා ගෙන යාම සහ අධීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම, ශ්‍රී ලංකාව තුළ මාධ්‍යයට අදාළ වන සම්පත් මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාම, ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය වෘත්තිය ප්‍රගමනය පිළිබඳ පර්යේෂණ කරගෙන යාමට, මාධ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාජිකයන්ට, නිලධරයන්ට, සේවානියුක්තයන්ට හෝ වෙනත් තැනැත්තන්ට සහාය වීම,  සාමාජිකයින් අතර, වෘත්තිමය විනය පවත්වාගෙන යාම සඳහා ආචාර්ය ධර්ම සංග්‍රහයක් සකස් කිරීම, සහ,

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය සම්බන්ධ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය දිනවල ජනමාධ්‍ය වෘත්තිය සමිති සහ වෙනත් විද්වතුන් දක්වන ලද අදහස් වලදී පනත් කෙටුම්පතට එරෙහිව ප්‍රබල විවේචනයක් ලෙස අදාළ පනත් කෙටුම්පත ‘මාධ්‍ය වෘත්තිකයන්’ අර්ථ දක්වා තිබූ ආකාරය උපුටා දැක්වීම. මෙම පනත් කෙටුම්පතේ 27 වැන වගන්තියේ දක්වා ඇති ‘අර්ථ නිරූපණය’ හි මාධ්‍ය වෘත්තිකයන්’ අර්ථ නිරූපණය කර ඇත. ඒ අනුව මාධ්‍ය වෘත්තිකයන් යන්නට, මාධ්‍ය ක්ෂේත්‍රයේ ලේඛකයන්, අන්තර්ගතය තනන්නන්, අන්තර්ගත සංස්කාරවරුන්, නිවේදකයන්, ඉදිරිපත් කරන්නන්, මාධ්‍ය විකාශකයන්, පුවත්පත් කලාවේදීන්, සංස්කාරකවරුන්, ප්‍රකාශයන්, මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍ය කළමනාකරුවන්, මාධ්‍ය අධ්‍යාපනය ලබා දෙන තැනැත්තන්, මාධ්‍ය පර්යේෂකයන්, මාධ්‍ය තාක්ෂණවේදීන් සහ ඡායාරූප ශිල්පීන් ද ඇතුළත් වේ.

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයේ කටයුතු පරිපාලනය කිරීම සහ කළමනාකරණය කිරීම පහත සාමාජිකයින්ගෙන් සමන්විත වන ආයතනයේ පාලක සභාවක් වෙත පවරනු ලැබිය යුතු බව, පනත් කෙටුම්පතේ 05 වන වගන්තිය දක්වා ඇත.  ඒ අනුව

(අ) මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සුදුසුකම්, දැනුම සහ පළපුරුද්ද සහිත ආයතනයේ සාමාජිකයන් අතරින් පත් කරගනු ලබන සාමාජිකයින් අට දෙනකු,
(ආ) මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සුදුසුකම්, දැනුම සහ පළපුරුද්ද සහිත ආයතනයේ සාමාජිකයින් අතරින් පත් කරගනු ලබන සාමාජිකයින් හත් ‍දෙනෙකු,

(2) ආයතනයේ සභාපතිවරයා සහ අනෙකුත් නිලධරයන් 26 වන වගන්තිය යටතේ සාදන ලබන රීතිවලට අනුකූලව සභාවේ සාමාජිකයන් අතරින් තෝරා පත් කර ගනු ලැබිය යුතුය.

(3) ආයතනයේ කටයුතු පරිපාලනය කිරීමේ කාර්යය සඳහා, සභාව විසින්, මේ පනත මඟින් ආයතනය වෙත පවරන ලද, නියම කරන ලද හෝ පනවන ලද බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම, සිදු කිරීහ සහ ඉටු කිරීම කළ යුතුය.

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් වූ වහාම මේ සම්බන්ධයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ සහ සිවිල් සමාජය ද ඇතුළු විද්වතුන්ගේ දැඩි අවධානයක් යොමු විය. මේ සම්බන්ධයෙන් සාධරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගිය දා “යෝජිත වරලත් මාධ්‍ය ආයතනය ගැන විමසුමක්’ යන තේමාව යටතේ පත්වන ලද ‘කතිකාව’ සංවාදයේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති රංග බණ්ඩාරනායක මහතා ‘මාධ්‍ය මර්දනය සඳහා රාජපක්ෂ රෙජිමයෙන් ගෙන ආපු සැලසුම් වර්තමාන රජයත් ගෙඩි පිටින් ඉදිරිපත් කරනවා’ චෝදනා කරමින් අදාළ පනත් කෙටුම්පත දැඩිව විවේචනය කළේය.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්‍ගේ සංගමයේ වත්මන් සභාපති රංග බණ්ඩාරනායක පවසන්නේ වත්මන් රජය වේවා, පසුගිය ආණ්ඩු වේවා කිසිදු අවස්ථාවක ජනමාධ්‍යවේදීන් හෝ ජනමාධ්‍ය සංගම් මෙම ක්‍රියාවලියේ කිසිම අවස්ථාවකට සම්බන්ධ කර නොගත් බවයි.

මේ සම්බන්ධයෙන් තව දුරටත් තම සංගමයේ ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු මෙසේ ද පැවසුවේය, “ආණ්ඩුව කඩිමුඩියේ පනත් කෙටුම්පත් ඉදිරිපත් කරනවා, ජාතික ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා, මෙවැනි පනත් කෙටුම්පත් කිරීමේ පූර්ව සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කිසිදු ආකාරයකින් සහභාගී වීමක් කරලා නැහැ. මාධ්‍යවේදීන් ලෙස හෝ මාධ්‍ය සංගම් අපි මේවා ගැන දැනුවත් වෙලා නැහැ. මේක තමයි අපට බලපාපු මූලික කාරණය. ඒ කියන්නේ මේක මාධ්‍යවේදීන්ගෙන් සහ මාධ්‍ය සංගම්වලින් මේ පිළිබඳව තොරතුරු විමසලා, එසේ නොමැති නම් මේ පිළිබඳව සාධාරණ ආකාරයෙන් සාකච්ඡා කරලා කෙටුම්පත් කළ පනතක් නෙමෙයි. මාධ්‍ය සම්බන්ධව ආණ්ඩුව ඉදිරිපත් කරන කිසිම කටයුත්තක විනිවිධභාවයක් නොමැති තත්ත්වයක් අපට නිරීක්ෂණය වෙනවා. ඒක ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ කෙටුම්පත්වලත්, යෝජිත වරලත් මාධ්‍ය ආයතනය පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත තුළත් දැක ගන්න පුළුවන්. කිසිම ආකාරයක පූර්ව සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මේ පනත් කෙටුම්පත් ඉදිරිපත් වෙලා නැහැ” මෙහි දී රංග යළි යළිත් චෝදනා කළේ පසුගිය කාලය පුරාම ජනමාධ්‍ය කර්මාන්තය හෝ ජනමාධ්‍යවේදීන්ට අදාළ කිසිම පනතක් හෝ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ දී ජනමාධ්‍යවේදීන්ගේ හෝ ජනමාධ්‍ය සංවිධානවල සහභාගීත්වයෙන් තොරව ඒවා සිදුවීම බරපතළ තත්ත්වයක් ලෙස සැලකිය හැකි බවයි.

යෝජිත වරලත් මාධ්‍ය ආයතනයේ ආරම්භය පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමය දක්වා දිවෙන බව රංග පැවසුවේ ය. ලංකාවේ ජනමාධ්‍යවේදීන් බරපතළ ලෙස මර්දනය කළ සහ ජනමාධ්‍ය වෙත තර්ජනය කළ, ජනමාධ්‍යවේදීන්ගේ උපකරණ කුඩුපට්ටම් කළ පසුබිමක් සහිත ආණ්ඩු විසින් සම්පාදනය කළ ලියවිලි නැවත මේ සමාජයට ගෙන ඒමේ ස්වභාවයක් මේ හරහා තමා දකින බව රංග බණ්ඩාරනායක පැවසුවේ ය.

මෙහි දී රංග පැවසුවේ මෙම කෙටුම්පත අභ්‍යන්තරයේ තිබෙන කරුණු – කාරණා ගෙන බලන විට තම සංගමයේ විරෝධයට පදනම මනාව පැහැදිලි වන බවයි.

“වරලත් මාධ්‍ය ආයතනය පිහිටුවීමේ දී ජනමාධ්‍ය අමාත්‍යවරයා කරන මැදිහත් වීම, ඔහු විසින් පත්කරන කමිටු ගැන බරපතළ ප්‍රශ්නයක් අපට තිබෙනවා. ඒ වගේම මාධ්‍ය වෘත්තිකයින් සඳහා වන මෙවැනි ආයතනයකට ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ හෝ රජයේ මැදිහත් වීම් අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. මේ ආයතනය බොහෝම ස්වාධීන මට්ටමකින් පාලනය විය යුතු, ජනමාධ්‍යවේදීන් අතර සුහදතාවය, ඔවුන්ගේ නිදහස, ඔවුන්ට වැඩ කිරීමට ඇති නිදහස, ඔවුන්ගේ අධ්‍යයන කටයුතු, ඒ වගේම ඔවුන්ගේ ආචාර ධර්ම පිළිබඳ පුළුල් කතිකාවතක් ඇති කිරීම වැනි දේවල් වරලත් මාධ්‍ය ආයතනයක් හරහා ගොඩනැගීමේ වැදගත්කම අපි පිළිගන්නවා. නමුත් මේක අභ්‍යන්තරයේ පවතින, සැඟවුණු න්‍යාය පත්‍රවලට තමයි අපි අපගේ විරෝධතාවය පළ කරන්නේ. ඉතිං මෙවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුවේ පාලන හස්තය ජනමාධ්‍යවේදීන් වෙත යොමු කරන විට අපි (මාධ්‍ය සංවිධාන ලෙස) කවදත් විරුද්ධ වුණා. ඒක මාළිමාව ද, රනිල් වික්‍රමසිංහ ද, මහින්ද රාජපක්ෂ ද කියලා වෙනසක් නැහැ. මේ සෑම යුගයකම අපි මෙවැනි රාජ්‍ය මර්දනයට විරුද්ධ වුණා. ඒ සංවිධානගත ව්‍යුහය අපි තව දුරටත් ආරක්ෂා කර ගෙන යනවා. ඒ නිසාම තමයි වරලත් මාධ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පසුගිය 05 වැනිදා නිකුත් කළ පනත් කෙටුම්පතට අපි අපේ විරෝධය පළ කරන්නේ. ඒ ව්‍යුහය ගොඩනැගීමේ තිබෙන ආරවුල, ඒ පැහැදිලි කිරීමක් නැති තත්ත්වයක් යටතේ අපි අපේ විරෝධතාව මතු කළා. ඒක තමයි මේ විරෝධතාව මතු කිරීමේ පසුබිම” රංග බණ්ඩාරනායක පැවසුවේ ය.

ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ඇතුළු ජනමාධ්‍ය හා සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයට අවස්ථා ගණනාවකදී සිය දායකත්වය ලබා දුන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ පැවසුවේ පසුගිය කාලය පුරා ලංකාවේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සම්බන්ධයෙන් කතිකාවක් තිබූ බවයි.

“ලංකාවේ පසුගිය කාලය පුරා මාධ්‍යවේදීන්ගේ වෘත්තීමයභාවය සම්බන්ධයෙන් කතිකාවක් තිබුණා. ඒක දෙයාකාරයකට ආවා. එකක් තමයි මාධ්‍යවේදීන් ආචාරධර්ම පිළිපදිනවා ද ? කියන එක, දෙවැනි එක තමයි මාධ්‍ය අන්තර්ගතය නියාමනය කළ යුතු ද ? ඒ සඳහා ස්වාධීන නියාමන ආයතනයක් තිබිය යුතු ද ? කියන කාරණය. මේ කාරණා දෙක ගැනම 1994 දී නීතිඥ ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර කමිටු වාර්තාව තුළ දීර්ඝ වශයෙන් නිර්දේශ සහ සාකච්ඡා ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමතරව 2015 ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ ‘ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය තක්සේරු කිරීම’ කියන යුනෙස්කෝ නිර්දේශ මත පදනම් වුණ මේ ගැන දීර්ඝව සාකච්ඡා කරලා තිබෙනවා. මේ කාරණා දෙකම අපට මේ කාරණය සම්බන්ධ විද්‍යාත්මක සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්” වත්මන් ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ පැවසුවේය.

මෙහි දී මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ පෙන්වා දුන්නේ ‘ජනමාධ්‍ය’ සම්බන්ධ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන මූලික අයිතිවාසිකමක් ලෙස සැලකෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සමඟ බවයි.

මේ සම්බන්ධයෙන් සිය අදහස පැහැදිලි කරමින් මහාචාර්ය වීරසිංහ මෙසේ ද පැවසුවේය, “මේ තත්ත්වය තුළ ප්‍රවෘත්ති එකතු කිරීම, ප්‍රවෘත්ති සංස්කරණය කිරීම, බෙදා හැරීම, ආණ්ඩුව ඇතුළු බලධාරීන් ප්‍රශ්න කිරීමට සහ ආණ්ඩුවේ සහ බලය තිබෙන වෙනත් කණ්ඩායම්වල කටයුතු අධීක්ෂණය කිරීම (මුර බල්ලාගේ භූමිකාව) තමයි ජනමාධ්‍යවල මූලික භූමිකාව ලෙස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සලකන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මේ කාර්යයන් කරන්න යම්කිසි පුද්ගලයෙකුට ‘වරලත් තත්ත්වයක්’ ඇති කිරීම හෝ එසේ නැතිනම් අවසර පත්‍රයක් දෙනවා. වත්මන් වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයෙන් යෝජනා කරන්නේ යම්කිසි පුද්ගලයෙකුට ඒ කාර්යය ඉෂ්ට කරන්න බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් දෙන එක. නමුත් මේ බලපත්‍රය හෝ අවසර පත්‍රය දෙන්නේ රාජ්‍ය ආයතනයක් විසින්. ඒ වෙනුවෙන් තමයි ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය වැනි නමකින් අදාළ ආයතනය පිහිට වන්නේ. මේ තත්ත්වය තුළ ආණ්ඩුව තීරණය කරනවා කවුද මාධ්‍යවේදියා, කවුද මාධ්‍යවේදියා  නොවන්නේ කියලා. නමුත් මොකක්ද මේකට තිබෙන නිර්ණායකය. ආණ්ඩුවට කියන්න පුළුවන් ඔබ මාධ්‍යවේදියෙක්, ඔබ මාධ්‍යවේදියෙක් නෙවෙයි කියලා. මෙතන බරපතළ ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව සම්බන්ධ වෙන්නේ මේ පිහිටවන ආයතනය රාජ්‍ය ආයතනයක්. එතකොට මේ ආයතනය කොපමණ ස්වාධීන ද, අපි දන්නවා මෙවැනි ආයතනවල පාලක මණ්ඩලය පත් කරන්නේ බොහෝ විට විෂය භාර අමාත්‍යවරයා විසින්. ඒක දේශපාලන පත්වීමක්. දේශපාලන පත්වීම් සහිත රාජ්‍ය ආයතනයක් විසින් තීරණය කරනවා කවුද මාධ්‍යවේදියා, කවුද මාධ්‍යවේදියා නොවන්නේ කියලා. මේ හරහා මාධ්‍යවේදීන්ගේ ස්වාධීනත්වය, නිදහස සහ ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීමේ දී විශාල අවදානමක් ඇති වෙනවා. ඒක වෙනත් ආකාරයකට කියනවා නම් මෙවැනි ආයතනයක් පිහිට වීමෙන් වෙන්න පුළුවන් අවසාන දේ තමයි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීම. අපි දන්නවා ස්වාධීන මාධ්‍යකරුවෝ ඉන්නවා, යූ ටියුබ්කරුවෝ, පුරවැසි මාධ්‍යවේදීන්, ස්වාධීන විචාරකයෝ වැනි පුද්ගලයෝ ඉන්නවා. මේ හැමෝම කවුද කියන එක ආණ්ඩුව විසින්, මේ ආයතනය විසින් තමයි තීරණය කරන්නේ. මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතළ අර්බුදයක් ලෙස තමයි මම දකින්නේ. ”. මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ වැඩි දුරටත් පැවසුවේය.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website