ව්‍යවසාය සංවර්ධනයට සෘජුව දායකත්වය සපයන රාජ්‍ය ආයතනවල වැඩසටහන් ‘ප්‍රජාශක්ති’ සමඟ ඒකාබද්ධ කිරීම පිළිබඳ සොයා බැලීමේ වැඩමුළුවක්

ව්‍යවසාය සංවර්ධනය සඳහා සෘජුව දායකත්වය සපයන රාජ්‍ය ආයතනවල මේ වන විට ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් ”ප්‍රජාශක්ති” ජාතික ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ කිරීමට ඇති හැකියාව සොයා බැලීමේ විශේෂ වැඩමුළුවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි.

මෙම වැඩමුළුවේදී රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට අදාළ සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම සහ එම තොරතුරු එක් දත්ත පද්ධතියකට ඇතුළත් කිරීම පිළිබඳව සාකච්ඡා විය.

එසේම, එම වැඩසටහන් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමටත්, ඒ ඒ ආයතනවල ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන්වල ස්වභාවය සහ නිර්නායක තෝරා ගැනීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි.

ව්‍යවසාය සංවර්ධනයට සෘජුවම අදාළ වන වැඩසටහන් සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ නිර්නායක පිළිබඳවද වැඩමුළුවට එක්ව සිටි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරිණි.

‌මීට අමතරව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අදාළ රාජ්‍ය ආයතන හා ”ප්‍රජාශක්ති” ජාතික ව්‍යාපාරයට තනි තනිව හෝ ඒකාබද්ධව ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් හඳුනා ගැනීමත්, එම වැඩසටහන් තෝරා ගැනීමේදී ද්විකරණයවීම වැළැක්වීම සම්බන්ධවත් මෙහිදී අවධානය යොමු කෙරිණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක යන මහත්වරුද, මෙම වැඩමුළුවේ සම්පත්දායකයන් වන කැලුම් ජයවීර, මාධව මුතුකුඩආරච්චි යන මහත්වරු සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ නිලධාරීහු, රාජ්‍ය නිලධාරීහු, ‘ප්‍රජාශක්ති’ ලේකම් කාර්යාලයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website