‘Rebuilding Sri Lanka අරමුදලට ලැබුණු ආධාරවලින් ශතයක්වත් වියදම් කර නැහැ’ – COPF  කමිටුව හමුවේ හෙළිවෙයි

Rebuilding Sri Lanka මුලපිරීම යටතේ එකතු කරන ලද අරමුදල් සම්පූර්ණයෙන්ම භාවිතයට නොගෙන පවතින අතර දැනට ඒවා භාණ්ඩාගාරයේ වෙනම ගිණුමක තබා ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජ්‍ය මූල්‍ය කමිටුවට දැනුම් දුන්නේය.

පසුගිය දා පැවති COPF රැස්වීමකදී මෙම කාරණය මතු වූ අතර, කමිටු සාමාජිකයින් ‘Rebuilding Sri Lanka’ අරමුදල ලෙස හඳුන්වනු ලබන මුලපිරීමේ තත්ත්වය, කළමනාකරණය සහ විගණනය පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියහ.

කමිටු සභාපති හර්ෂ ද සිල්වා එවැනි අරමුදලක් විධිමත් ලෙස පවතින්නේ දැයි ප්‍රශ්න කළ අතර, විනිවිදභාවය සහ වගවීම පිළිබඳ ගැටලු මතු කළේය.

Rebuilding Sri Lanka අරමුදල පිළිබඳ වාර්තා අපි දැක තිබෙනවා. නමුත් මගේ දැනුමට අනුව එවැනි අරමුදලක් නැහැ. පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් තැන්පත් කර ඇත්තේ කොහේද? එය විගණනය කරන්නේ කෙසේද?” COPF සභාපතිවරයා ප්‍රශ්න කළේය.

2025 දී මුලපිරීම ස්ථාපිත කිරීම සඳහා කැබිනට් තීරණයක් ගෙන තිබුණ ද, එය නීතිය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස විධිමත් ලෙස නිර්මාණය කර නොමැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැහැදිලි කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, පරිත්‍යාග මහා භාණ්ඩාගාරය විසින් පවත්වාගෙන යනු ලබන DST ගිණුමකට තැන්පත් කර ඇති බව ඔහු පැවසුවේය.

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණු සියලු පරිත්‍යාග දැනට විශේෂ භාණ්ඩාගාර ගිණුමක තබ තිබෙනවා. එහි එක සතයක්වත් භාවිතා කර නැහැ,” විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් කමිටුවට පැවසීය.

දෙපාර්තමේන්තුව විගණන ක්‍රියා පටිපාටි හරහා ගිණුම් ශේෂය සත්‍යාපනය කර ඇති බවත්, නවතම විගණන සමාලෝචනය වන විට අරමුදල්වලට කිසිදු බලපෑමක් සිදු නොවූ බවත් නිලධාරියා තවදුරටත් පැවසීය.

අවශ්‍ය නීතිමය ක්‍රියාවලිය හරහා විධිමත් ලෙස ස්ථාපිත කරන තෙක් මෙම මුලපිරීම “අරමුදලක්” ලෙස හැඳින්විය යුතු නැති බව ද කෝප් සභාපති හර්ෂ ද සිල්වා අවධාරණය කළේය.

පරිත්‍යාගශීලීන්ගේ නම් සහ දායක වූ මුදල් නිල වෙබ් අඩවියකින් ප්‍රසිද්ධියේ ලබා ගත හැකි වුව ද, අරමුදලේ මුදල් අපේක්ෂිත අරමුණු වෙනුවෙන් භාවිතා නොකරන්නේ කුමන හේතු නිසාදැයි COPF සාමාජිකයින් ප්‍රශ්න කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website