ලෝක කුසලානය ඉලක්ක කරගත් ශ්‍රී ලංකා – කොදෙව් සටන ඇරඹෙයි

මෙම තරගාවලියේ සියලුම තරග ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා පාර්ක් පිටියේදී පැවැත්වේ. දෙවැනි හා තෙවැනි තරග දෙකම ජැමෙයිකා වේලාවෙන් පස්වරු 2.30ට (ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රී 1.00ට) ආරම්භ වීමට නියමිතය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේ සිටින අතර කොදෙව් පිල 10 වැනි ස්ථානයේ පසුවෙයි. එහෙත් දෙපිලම අවසන් එක්දින තරග පහෙන් ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණක් වීම නිසා වත්මන් ක්‍රියාකාරිත්වය අනුව තරගාවලිය ඉතා සමබර තත්ත්වයක පවතී.

2027 ලෝක කුසලානය සඳහා සෘජු සුදුසුකම් ලබා ගැනීමට නම් 2027 මාර්තු 31 වනවිට අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පළමු 8 දෙනා අතර සිටිය යුතුය. එබැවින් මෙම තරගාවලිය දෙපිලටම ඉතා වැදගත් වන අතර ලබා ගන්නා සෑම ජයග්‍රහණයක්ම අනාගත සුදුසුකම් තීරණයට සෘජුවම බලපානු ඇත.

එක්දින ඉතිහාසය දෙස බැලූ විට ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර දැඩි තරගකාරී සටනක් පවතී. තරග 64කින් දෙපිලම ජයග්‍රහණ 32 බැගින් ලබා ඇති අතර එය සම්පූර්ණ සමබරතාවයක් පෙන්වයි. පසුගිය තරග 10කදී ශ්‍රී ලංකාව තරග 6ක් ජයගෙන ඇති අතර එය සුළු වශයෙන් වාසිය ශ්‍රී ලංකා පාර්ශවයට යොමු කරයි.

කොදෙව් පිල බටහිර ඉන්දීය දූපත්හිදී පසුගිය එක්දින තරගමාලා පහම ජය ගනිමින් දේශීය තත්ත්වයන්හි ඔවුන්ගේ ශක්තිය තහවුරු කර ඇත. අවසන් වරට පාකිස්තානයට එරෙහිව ලබාගත් තරගාවලි ජයද ඔවුන්ගේ විශ්වාසය තවදුරටත් ඉහළ නංවා ඇත.

ශ්‍රී ලංකාව අවසන් එක්දින තරගාවලියේදී එංගලන්තය හමුවේ 2-1ක් ලෙස පරාජයට පත්වූ අතර එබැවින් මෙවර තරගාවලිය නැවත ජය මාර්ගයට පිවිසීමටත් අයි.සි.සී.  ශ්‍රේණිගත කිරීම්හි ස්ථානය ශක්තිමත් කිරීමටත් අවස්ථාවක් ලෙස සැලකේ.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනා නම් කර ඇති එහිදී පැතුම් නිස්සංක සමගින් ඉනිම ආරම්භ කිරීමේ වගකීම උප නායක කමිදු මෙන්ඩිස් වෙත පවරා තිබේ. එමෙන්ම වෙනදා පරිදි වූ පිතිකරුවන් 7 ක් සහ පන්දු යවන්නන් 4 ක් යන සංයුතියෙන් බැහැරව පිතිකරුවන් 6 සහ පන්දු යවන්නන් 5 යන අනුපාතය යටතේ අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අවතීර්ණවීම විශේෂත්වයක් ලෙසින් සැලකිය හැක.

ශ්‍රී ලංකා කණ්ඩායම

  1. පැතුම් නිස්සංක
  2. කමිඳු මෙන්ඩිස් (උප නායක), 
  3. කුසල් මෙන්ඩිස් (නායක)
  4. පවන් රත්නායක
  5. චරිත් අසලංක
  6. ජනිත් ලියනගේ
  7. වනිඳු හසරංග
  8. මිලාන් රත්නායක
  9. මහීෂ් තීක්ෂන
  10. දුෂ්මන්ත චමීර
  11. අසිත ප්‍රනාන්දු

source: srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website