වසර 13කට පසු ශ්‍රී ලංකාවට කොදෙව් දේශයේදී එක්දින ජයක්

කුසල් මෙන්ඩිස්ගේ වේගවත් ලකුණු 72ක ඉනිමත්, දුෂ්මන්ත චමීරගේ කඩුලු 4ක විශිෂ්ට පන්දු යැවීමත් ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම එක්දින තරග ජය සනිටුහන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 13 කට පසු බටහිර ඉන්දීය කොදෙව් දේශයේදී වාර්තා කරගන්නා ලද පළමු ජය ලෙසිනි.

ජැමෙයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 7කට ලකුණු 303ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වෝ සියලු දෙනා දැවී ලකුණු 262කට සීමා වූහ. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වතාවට කොදෙව් කණ්ඩායමක් ඔවුන්ගේ දේශයේදී පරාජයට පත් කිරීමට සමත්ව ඇත්තේ 2013 වසරේ ජූලි 07 වැනිදා පෝර්ට් ඔෆ් ස්පේන්හිදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලබා ගන්නා ලද ලකුණු 37 ක ජයග්‍රහණය වේ. ඒ ඉන්දීය කණ්ඩායමද සහභාගිවූ තුන්කොන් තරගාවලියක් ලෙසින් පැවැත්විණ.

පන්දු 62කින් ලකුණු 72ක් රැස් කළ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමට ජවයක් එක් කළ අතර, පතුම් නිශ්ශංක, ජනිත් ලියනගේ සහ චරිත් අසලංක ද වටිනා දායකත්වයන් ලබා දීම නිසා ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7කට ලකුණු 303ක් ලබා ගැනීමට සමත් විය. සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේ තණතීරුව දඟ පන්දු යවන්නන්ට යම් සහායක් ලබා දුන් අතර, එම ලකුණු සංඛ්‍යාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අතිශය අභියෝගාත්මක විය. මෙන්ඩිස්ගේ වේගවත් ඉනිම නිසා තරගයේ වීරයා සම්මානයෙන්ද ශ්‍රී ලංකා නායකයා පිදුම් ලැබුවේය.

කොදෙව් පිළිතුරු ඉනිම ආරම්භයේදී සාර්ථක ලෙස ගමන් කළද, ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ දැඩි පාලනය හමුවේ ඔවුන්ට ලකුණු 262කට සීමා වීමට සිදු විය. මහීෂ් තීක්ෂණ ලකුණු 26කට කඩුලු 2ක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර, ඔහුගේ විවිධාකාර පන්දු තේරුම් ගැනීමට කොදෙව් පිතිකරුවන් අපොහොසත් වූහ. වනිඳු හසරංග ද ලකුණු 43කට එක් කඩුල්ලක් දවා ගත්තේය. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කළ එකම පිතිකරු වූයේ නායක ශායි හෝප් වන අතර, ඔහු පන්දු 66කින් ලකුණු 56ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් කැපී පෙනුණු ක්‍රීඩකයා වූයේ දුෂ්මන්ත චමීරය. ඔහු සිය පන්දුවාර 10 තුළ ලකුණු 67කට කඩුලු 4ක් බිඳ හෙළමින් කොදෙව් ඉනිම අඩපණ කළේය.

කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ආරම්භයේදී එය සාර්ථක තීරණයක් ලෙස පෙනිණි. ජේඩන් සීල්ස් ශ්‍රී ලංකාවේ නව ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කළ කමිඳු මෙන්ඩිස්ව අඩු ලකුණු සඛ්‍යාවකදී දවා ගැනීමට සමත්වීම නිසා පළමු පන්දුවාර 10 අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ කඩුල්ලකට ලකුණු 32 ක් ලෙසිනි.

කෙසේ වෙතත්, කුසල් මෙන්ඩිස් පිටියට පැමිණීමත් සමඟ ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි විය. ඔහු ගුඩකේෂ් මොටීගේ පන්දු හමුවේ ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් හයේ පහර හතරක් එල්ල කළේය. පන්දු 42කින් අර්ධ ශතකය සම්පූර්ණ කළ කුසල්, ලකුණු 72කට දැවී ගියද, ඒ වන විටත් ශ්‍රී ලංකාවට ශක්තිමත් පදනමක් ගොඩනගා තිබිණි. ඔහු සහ පතුම් නිශ්ශංක දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 136ක සබඳතාවක් ගොඩනැගූහ.

නිශ්ශංක පන්දු 71කින් අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර, ලකුණු 79ක් රැස් කරමින් ඉවසීමෙන් යුත් ඉනිමක් ක්‍රීඩා කළේය. ඉනිමේ අවසන් භාගයේදී චරිත් අසලංක ලකුණු 45ක් සහ ජනිත් ලියනගේ නොදැවී ලකුණු 44ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 300 ඔබ්බට රැගෙන ගියහ. මැද පෙළින් තමාගේ වගකීම අකුරටම ඉටු කළ ජනිත් ලියනගේ අවසන් පන්දුවාරයේ එල්ල කරන ලද හයේ පහරත් සමග ලන්දු 29 කට මුහුණ දී හතරේ පහර 5 ක්ද තම ඉනිමට එක්කොට තිබුණේය.

ලකුණු 304ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පළමු පන්දුවාර 6 අවසානයේ කඩුලු නොදැවී ලකුණු 50ක් රැස් කළේය. එහෙත් ජනිත් ලියනගේගේ විශිෂ්ට පන්දු රැකීමක් හේතුවෙන් ජෝන් කැම්බල් දැවී ගිය අතර, ඉන් අනතුරුව තරගයේ පාලනය ක්‍රමයෙන් ශ්‍රී ලංකාව අතට පත් විය.

මැද පෙළේදී කීසි කාර්ටිගේ කඩුල්ල කමිඳු මෙන්ඩිස්ගේ විශිෂ්ට උඩපන්දු රැකීමකින් බිඳ වැටුණු අතර, ශායි හෝප් ද චමීරගේ මන්දගාමී පන්දුවකට රැවටී දැවී ගියේය. එම අවස්ථාවේදී කොදෙව් කණ්ඩායම කඩුලු 5කට ලකුණු 167ක් ලබා සිටි අතර, අවශ්‍ය ලකුණු වේගයද ඉහළ ගොස් තිබිණි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි තරගය ලබන 07 වැනිදා අළුයම 1.30 ට සබීනා පාක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 303 යි

පැතුම් නිස්සංක 79, කමිඳු මෙන්ඩිස් 12, කුසල් මෙන්ඩිස් 72, පවන් රත්නායක 24, චරිත් අසලංක 45, ජනිත් ලියනගේ 44*, වනිඳු හසරංග 07, මිලාන් රත්නායක 00, මහීෂ් තීක්ෂණ 00*, ජේඩ්න් සීල්ස් 67/2, මැතිව් ෆෝර්ඩ් 44/2, රොස්ටන් චේස් 47/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල පන්දුවාර 49.2 කදී සියලු දෙනා දැවී ලකුණු 262 යි

ජෝන් කැම්බෙල් 17, ජස්ටින් ග්‍රීව්ස් 45, කේසි කාටි 27, ෂායි හෝප් 56, ශර්ෆේන් රදර්ෆර්ඩ් 05, රොස්ටන් චේස් 33, ගුඩාකේෂ් මෝටි 22, මැතිව් ෆෝඩ් 15, අල්සාරි ජෝසප් 00, ශමාර් ජෝසප් 23*, ජේඩ්න් සීල්ස් 02, දුෂ්මන්ත චමීර 67/4, මහීෂ් තීක්ෂණ 26/2, අසිත ප්‍රනාන්දු 59/1, වනිඳු හසරංග 43/1, චරිත් අසලංක 06/1

source:srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website