අද ජනතාව හමුවේ තිබෙන ‘එකම’ පිළිතුර බවට සමගි ජන බලවේගය පත්ව තිබෙනවා. ඇත්ත වශයෙන්ම ජනතාවට දැන් අත්හදා බලන්න තියෙන එකම තැන තමයි සමගි ජන බලවේගය. පක්ෂ දර්ශනය, ප්‍රතිපත්ති, වැඩපිළිවෙළ, නායකත්වය සහ කණ්ඩායම ආදි සෑම අංශයකම අත්හදා බලන්න තිබෙන එකම තැන තමයි සමගි ජන බලවේගය. ඒ වගේම ආර්ථික, සමාජ සංවර්ධනය හ සුබසාධානය ආදි ජාතික වශයෙන් වැදගත් සියලුම අංශවල අවබෝධයක් තිබෙන, අත්දැකීම් තිබෙන, නඩු නැති, ඇඟිල්ල දික්කරලා චෝදනා කරන්න බැරි පිරිසිදු කණ්ඩායම තමයි සමගි ජන බලවේගය. ඒ නිසා අපි හිතනවා විපක්ෂයේ සෙසු පක්ෂත්, ආණ්ඩුව ගැන කළකිරීමට පත්ව සිටින සියලු කණ්ඩායම් එකම වේදිකාවකට ගෙනවිත් රට ගොඩගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවේ දී ජනතාව අපට සහාය දෙයි කියලා.
අනුර කුමාර දිසානායක ආණ්ඩුවට දැන් මාස 18කටත් වඩා කාලයක් ගත වෙලා තිබෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවේ මධුසමයත් අවසන් වෙලා බොහෝ කල්. ප්‍රධාන විපක්ෂය ආණ්ඩුවේ පසුගිය කාලයේ ක්‍රියාකාරීත්වය හඳුනා ගෙන තිබෙන්නේ කොහොම ද ?
අද මේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය දකින විට ‘මළිමාවට මේ පළ දෙන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මයක් නේද ?’කියලා හිතෙනවා. ඒ තරමට මේ ආණ්ඩුව පිටිපස්සෙන් ඔවුන්ගේ අතීතය හා අතීත ක්‍රියාකාරීත්වය එළව එළවා පහර දෙනවා. මෙවැනි තත්ත්වයකට මුහුණ දුන්න ආණ්ඩුවක් මේ ලෝක ඉතිහාසයේ නැතිව ඇති.
ඔබ මේ ආකාරයට චෝදනා කළත් ආණ්ඩුව කියන්නේ ඔවුන් ජනතාවගේ ආණ්ඩුවක් කියලා නේද ?, පසුගිය මැයි දිනයේ තේමාව වුණෙත් ඒක නේද ?
ඔව්, ආණ්ඩුව කියන්නේ එහෙම තමයි, ඒත් ඔවුන්ගේ වර්තමාන ක්‍රියාකාරීත්වය ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඔවුන් පසුගිය 60 වසර පුරාම බලයේ සිටි ආණ්ඩුවලට නිමක් නැතිව අභූත චෝදනා කළ. ඒවා ‘ධනපති පංතියේ ආණ්ඩු’ කියලා ලේබල් කරලා සාමාන්‍ය ජනතාව තුළ වෛරයක් ඇති කළා. ඔවුන් පීඩිත යැයි කියන පංතියට කිව්වා, ‘නැගිටපල්ලා…. නැගිටපල්ලා උඹලගේ වාරය ඇවිල්ලා’ කියලා. මේ බොරුවට, ප්‍රෝඩාවට රැවටුණ මිනිස්සු ඇහින් දැක්ක සංවර්ධනය අමතක කරලා කටින් පතුරවපු වෛරය වැළඳෙගන පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී මාළිමාවට බලය දුන්නා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ. ධනපති ආණ්ඩුවල පාලන කාලයට වඩා ඉතාම අසීරු තත්ත්වයකට අද රට සහ ජනතාව පත්වෙලා තිබෙනවා. ඉතිහාසයේ තිබුණ හැම ධනපති ආණ්ඩුවකටම වඩා මේ ඊනියා පීඩිත පංති ආණ්ඩුව යටතේ ජීවන වියදම විශාල ලෙස ඉහළ යමින් තිබෙනවා, සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. උදාහරණයක් ලෙස තෙල් මිල ගන්න පුළුවන්. මේ වන විට මෙරට ඉතිහාසයේ වැඩිම තෙල් මිල වාර්තා වෙමින් තිබෙනවා. මේ ආණ්ඩුව බලයට ආවේ ඉන්ධන වරායෙන් ගොඩ බාන මිල ගණන් පෙන්නලා, ඇමැතිවරුන්ට යන කොමිස් ගැන පෙන්නලා, බදු ගැන පෙන්නලා. අපි පසුගිය කාල පුරාම මතක් කළ ආකාරයට මේ ආණ්ඩුව බලය ඉල්ලුවේ ඉන්ධන මිල අඩු කරන්න, විදුලි බිල 33%කින් අඩු කරන්න. අනුර කුමාර දිසානායක විදුලි බිල අඩුකරන ආකාරය ‘මවලා’ පෙන්නුවා. නමුත් එදා ජනතාවට දුන්න කිසිම පොරොන්දුවක් ඉටු කරලා නැහැ. ආණ්ඩුව මාරු වුණාට ජනතාවගේ ජීවිත මාරු වෙලා නැහැ. ජනතාව කබලෙන් ලිපට වැටිලා තියෙන්නේ.
ඔබ මෙසේ චෝදනා කළත් මේ බොහෝ දේ සිද්ධ වෙන්නේ මැදපෙරදිග යුද්ධයේ බලපෑම නිසා නේද ?
නැහැ, මේ ආණ්ඩුව බලයට පත් වුණ දා සිටම භාණ්ඩ මිල ඉහළ ගියා. මේ අර්බුදය යුද්ධය මත පටවන්න ආණ්ඩුවට කිසිම හැකියාවක් නැහැ. මේක මේ ආණ්ඩුවේ, විශේෂයෙන් ජනාධිපතිවරයාගේ නොහැකියාව, පළපුරුද්ද නැතිකම සම්බන්ධ ගැටලුවේ ප්‍රකාහනයක්.
බොහෝ දෙනෙක් ආණ්ඩුවට චෝදනා කළත් ජනාධිපතිවරයාට චෝදනා කරන්නේ නැහැ නේද ?
ඒක තමයි ලොකුම වරද. මේ ආණ්ඩුවේ අසාර්ථකම, දූෂිතම අමාත්‍යාංශ පාලනය කරන්නේ ජනාධිපතිවරයා. ඔහුගේ මුදල් අමාත්‍යාංශය අතිෂය අකාර්යක්ෂමයි. ඔහු යටතේ තිබෙන සෑම ආයතනයක්ම දූෂිතයි වගේම අකාර්යක්ෂමයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩට කෙසේ වෙතත් කතාවට සූරයෙක් බව විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කියනවා. මේ ගැන ඔබේ අදහස කුමක් ද ?
කිසිම ජනාධිපතිවරයෙක් නොකළ ආකාරයට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් පැය ගණන් කතා කරනවා, විපක්ෂයට අභියෝග කරනවා. ඒත් මේ වන විට ඒ කතාවලට තිබෙන ජනතා ආකර්ෂණය අවසන් වෙලා තිබෙනවා. ඒ නිසා පසුගිය කාලයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් ආණ්ඩුව, ඇමතිවරු හෝදන වැඩේ කළේ නැහැ. ඒ වගේම මේ වන විට ජනාධිපතිවරයා රටපුරාම යනවා, ගිහින් කතා කරනවා. පොරොන්දු දෙනවා, අනාවැකි කියනවා, තර්ජනය කරනවා, ඇතැම් අවස්ථාවල ආයාචනා කරනවා. නමුත් මේ කිසිවක් අද ජනතාව විශ්වාස කරන්නේ නැහැ. ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තුළ තිබුණ විශ්වාසය දැන් සම්පූර්ණයෙන්ම බිඳ වැටී අවසන්.
ඔබේ මේ චෝදනාවට පදනමක් තිබෙනවා ද ?
එකක් දෙකක් නෙමෙයි උදාහරණ දහස් ගණනක් දෙන්න පුළුවන්කම තිබෙනවා. ‘බඩු මිල අඩුකරනවා’ කියලා ජනාධිපතිවරයා කිව්වොත් අපේ ගම්වල මිනිස්සු අහන්නේ ‘අර මේසෙට ගහලා හාල් මිල අඩු කළා වගේ ද ? කියලා. සහන පැකේජයක් දෙනවා කියලා ජනාධිපතිවරයා කිව්වොත් ජනතාව අහන්නේ ‘අර තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දුන්නා වගේ ද?’ කියලා. අද ජනාධිපතිවරයගේ කතා හිස් වචන, කිසිවක් සිද්ධ නොවන වල්පල් කතා ගාණට වැටිලා තියෙන්නේ. ආණ්ඩුවේ පසුගිය කාලයේ වැඩ ‘නැටුව තොවිලෙකුත් නැහැ – බෙරේ පළුවකුත් නැහැ’ කියන කතාව ගානට වැටිලා තියෙන්නේ.
විපක්ෂයේ ජනප්‍රියම මාතෘකාව බාල ගල් අඟුරු සිද්ධිය ගැන මොකද හිතෙන්නේ ?
මේක තමයි ලංකාවේ ලොකුම හොරකම, දූෂණය සහ වංචාව, ඒ ගැන කිසිම තර්කයක් නැහැ. පැස්බරා වැල්ලේ ඔළුව හංඟ ගත්තා වාගේ ආණ්ඩුව කොමිෂමක් දාලා මේ දැවැන්ත දූෂණයෙන්, හොරකමෙන්, වංචාවෙන් බේරෙන්න හදනවා. ඒත් ඒකට අපි කිසිම ඉඩක් දෙන්නේ නැහැ. ඒ වගේම මේ දැවැන්ත වංචාවේ මුළු බරම අද ජනතාව පිට පටවලා ඉවරයි. අද මුළු රටම ආණ්ඩුවේ හොරකම්වල වන්දිය ගෙවනවා.
ජනාධිපතිවරයා නම් කිව්වේ ගල් අඟුරු කාලා බලලා ගෙනාවේ නැහැ කියලා නේද ?
ඔහු මීට පෙරත් එවැනි වගකීම් විරහිත ප්‍රකාශ විශාල සංඛ්‍යාවක් කළා. ‘අපි මිනිස්සු කාලා බලලා ගත්තේ නැහැ’ කියලා කිව්වෙත් ඔහුමයි. ඔහු විපක්ෂයේ සිටිය දී කළ සෑම කතාවක්ම අද වගකීම් විරහිත කතා බවට ඔප්පු වෙලා තිබෙනවා. නමුත් මේ රටේ 68 ලක්ෂයක් ජනතාව මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ කරන ජනාධිපතිවරයෙක් බලාපොරොත්තු වුණේ නැහැ. වත්මන් ජනාධිපතිවරයා ද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙලා හිටිය නම් අපිට මීට වඩා සම්පූර්ණයෙන් වෙනස් කතාවක් ඔහුගෙන් අහගන්න තිබුණා. ඔහු ගල් අඟුරු හැදෙන තැන ඉඳලා නොරොච්චෝලේට දාලා විදුලිය නිෂ්පාදනය කරන තැන දක්වා කතාවම තිතට කියයි. මේක තමයි මේ ආණ්ඩුවේ, ජනාධිපතිවරයාගේ ලොකුම දුර්වලතාව. ඔවුන් බොරු කියන්න දක්ෂ වුණාට වැඩ කරන්න දක්ෂ නැහැ. වෛරය වපුරන්න දක්ෂ වුණාට කළමනාකරණයට දක්ෂ නැහැ. මේක ජනතාවගේ පැත්තෙන් ගත්තොත් මහා අභාග්‍යසම්පන්න තත්ත්වයක්. ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකළ තත්ත්වයක්.
අනුර කුමාර දිසානායක විපක්ෂයේ සිටිය දී, විශේෂයෙන් මැතිවරණ සමයේ දී මාළිමාව වටා සිටින බුද්ධිමතුන්, වෘත්තිකයින් ගැන ජනතාවට ලොකු බලාපොරොත්තුවක් ඇති කළා. ඔබ හිතන ආකාරයට ආණ්ඩුව ඔවුන්ගෙන් සේවයක් ලබා ගන්නේ නැද්ද ?
මාළිමාව රටට පෙන්නුව විශාල චිත්‍රයට ඇත්තටම ජනතාව රැවටුණා. අපි හිතනවා වෘත්තිකයින් සහ විද්වතුන් ද සැලකිය යුතු පිරිසක් මාළිමාවට රැවටුණා. මම හිතන්නේ ඔවුන් හිතන්න ඇති ජවිපෙ, මාළිමාවේ ඉන්නේ අති දක්ෂ දේශපාලනඥයෝ කියලා. මොකද අනුර කුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති කතා කළේ විශේෂඥයෝ වාගේ. ඒ නිසා තමයි අනුර කුමාර මිනිරන්වලින් ග්‍රැෆයිට් හදලා රටේ ණය ගෙවන ආකාරය ගැන කතා කළේ. සුනිල් හඳුන්නෙත්ති ත්‍රිකුණාමලෙන් ලංකාවේ සම්පූර්ණ විදේශ ණය ගෙවන ආකාරය ගැන කතා කළේ. ඔවුන් එක්ක එකතු වුණ විශේෂඥයොත් ඊට දෙවැනි නැහැ. ඔවුන් තමයි කෝලිකුට්ටු ගෙඩියේ නැට්ට හයි කරන ආකාරය ගැන කතා කළේ. මේ වගේ පට්ටපල් බොරම කියලා තමයි මේ ආණ්ඩුව බලය ගත්තේ. අද සමාජ මාධ්‍ය පිරිලා තියෙන්නේ ජවිපෙ, ජනාධිපතිවරයාගේ ‘එදා සහ අද’කතාවලින්. අද මේ කතා අහන 68 ලක්ෂයට මොනවා හිතෙනවා ඇද්ද කියලා හිතා ගන්නත් බැහැ.
ආණ්ඩුව වචන හරඹ තුළින් තමන්ගේ වංචා සහ දූෂණ වසා ගන්න හදනවා කියලා ප්‍රබල චෝදනාවක් තිබෙනවා. ඔබත් ඒක පිළිගන්නවා ද ?
ඔව්, කන්ටේනර් 323 වංචාවේ දී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කිවේ මොකක්ද ? ‘අපේ බිමල් එහෙම දෙයක් කරයි කියලා ඔබ විශ්වාස කරනවාද ?’කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ‘අපි ගල් අඟුරු කාලා බලලා ගෙනවාවේ නැහැ’ කියලා. ඒත් ආණ්ඩුවට ගල් අඟුරු සුදු කරන්න අපි ඉඩ දුන්නේ නැහැ. ඒක ජනගත වුණා. කිසිම ආණ්ඩුවක් පෝර කාලා බලලා ගෙන්වන්නේ නැහැ, කෘමිනාශක බීලා ගෙන්වන්නෙත් නැහැ, ගල් අඟුරු කාලා බලලා ගෙන්වන්නෙත් නැහැ කියලා ජනතාව දන්නවා. ඒ වගේම ජනතාව අවශ්‍ය අවස්ථාවේ දී නිසි පිළිතුරු දෙන්නත් දන්නවා. ඒ ගැන ආණ්ඩුව කල්පනාවෙන් සිටිය යුතුයි.
ඔබ එවැනි අනතුරු ඇඟවීමක් කරන්නේ ඇයි ?
ඒ මේ ආණ්ඩුව මෙතෙක් කාලයක් බලයට පත් වුණ සියලුම ආණ්ඩුවලට වඩා දූෂිත නිසා, අකාර්යක්ෂම නිසා. මේ ආණ්ඩුව බලයට පත් වුණ දා සිට සොරකම් කළා, වගකීම් විරහිත ලෙස කටයුතු කළා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, හය වසර ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධ සිද්ධිය, මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් සොරකම් කිරීම වාගේ නිමක් නැති දූෂණ චෝදනා සහ අකාර්යක්ෂම පාලනය ගැන චෝදනා මේ ආණ්ඩුවට තිබෙනවා. ඒ වගේම මේ වන විට තීව්‍රර වෙමින් පවතින ගෙවුම් ශේෂ අර්බුදය, රුපියල අවප්‍රමාණය වීම වාගේ දිනපතා එකතු වෙන චෝදනා ආණ්ඩුවට තිබෙනවා.
මල්පැළ – වල්පැළ, පාපිසි, සුන්බුන් විපක්ෂය, ඇවිදින පුස්තකාල, කදීර්ගාමර්ලා වාගේ අලුත් වචන රැසක් වර්තමානයේ දේශපාලන ශබ්ද කෝෂයට එකතු වෙලා තිබෙනවා නේද ?, කොහොමද මේ මල්පැළ සහ වල්පැළ අතර පාර්ලිමේන්තු කටයුතු සිද්ධ වෙන්නේ ?
මෑත කාලීන පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම ජනවරමක් ලබා ගත්තේ මේ ආණ්ඩුව. ඔළුගෙඩි 159ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. නමුත් මේ ඔළු ගෙඩි 159 ඇතුළේ තියෙන්නේ මොනවද කියලා අද ජනතාව දන්නවා. වල්පැළ වෙනුවට ආපු මල්පැළ ගැන, ඇවිදින පුස්තකාල ගැන, කදීර්ගාමර්ලා ගැන ජනතාව අද දන්නවා. ඔවුන්ගේ හැකියාවන් සහ නොහැකියාවන් ගැන, අත්දැකීම් ගැන අද ජනතාවට නිවැරදි තක්‌සේරුවක් තිබෙනවා.
ජනාධිපතිවරාගේ මැයි දින කතාව මහත් ආන්දෝලනයක් ඇති කළා. විශේෂයෙන් මැයි 25 වැනිදා ලැබෙන අධිකරණ තීන්දුවක් ගැන ඔහු කළ ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගියා. දැන් මැයි 25 ඉවරයි. ජනතාවට අත්පොළසන් ගහන්න පුළුවන් දෙයක් වුණා ද ?
මැයි දිනය කියලා කියන්නේ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරන දවසක්, කම්කරුවන්ගේ, නිර්ධනයින්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන දවස. ඒත් මේ ඊනියා වාමාංශික ආණ්ඩුව, නිර්ධන පංතියේ ආණ්ඩුව මැයි දිනය සම්පූර්ණයෙන් අපයෝජනය කළා. ඒ දේශපාලන වෛරය වපුරන තැනක් බවට පත්කර ගත්තා. එදා මැයි දින වේදිකාව දෙවනත් කරමින් ජනාධිපතිවරයා පළ කළ අනාවැකි ඔහුගේ සෑම ප්‍රකාශයක් වගේම ‘අතේ පැළවෙන බොරුවක්’ බවට පත් වුණා.
ආණ්ඩුවක ස්වර්ණමය යුගය කියලා කාලයක් තිබෙනවා ද ?
ඔව්, සාමාන්‍ය දේශපාලන අදහස අනුව මුල් අවුරුද්ද ආණ්ඩුවක මධු සමය කියලා කියනවා. ඊට පස්සේ ගත වෙන දෙවැනි සහ තෙවැනි අවුරුදු ස්වර්ණමය කාලය ලෙස සැලකිය හැකියි. ඒ අනුව මේ ගත වෙන්නේ මාළිමාව ආණ්ඩුවෙත් ස්වර්ණමය යුගය. ඒත් ඒකෙන් ජනතාවට නම් ලැබෙන යහපතක් නැහැ.
ඔබ එවැනි ඍණාත්මක ප්‍රකාශයක් කරන පදනම කුමක්ද ?
මේ ආණ්ඩුව තමන් දුන්න පොරොන්දු කිසිවක් ඉටු කළේ නැහැ. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළේ නැහැ, රටේ සංවර්ධනයක් කළේ නැහැ, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වාගේ ජාතික වශයෙන් වැදගත් කිසිවක් කළේ නැහැ. රැකියා බිහි කළේ නැහැ, විපක්ෂයට චෝදනා කරමින් කාලය කෑවා පමණයි. ඒ නිසා තමයි අද ජනතාව සහ ආර්ථිකය කබලෙන් ලිපට වැටෙමින් තිබෙන්නේ.
මේ ආණ්ඩුවත් මැතිවරණ සිතියම අකුලන්න කැමැත්තෙන් සිටින බවක් විපක්ෂය කියනවා. ඔබට මේ ගැන අදහසක් තිබෙනවා ද ?
මේ ආණ්ඩුව බලයට පත් වුණ දිනයේ සිට මැතිවරණවලට බයයි. ඒකට හේතුව පැහැදිලියි. ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක ලබා ගත්තේ 43%කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් පමණයි. ඔහුට පළමු වටයෙන් තේරී පත්වීමට අවශ්‍ය 50%ක ඡන්ද ප්‍රතිශතය ලැබුණේ නැහැ. ඔහු තමයි ලංකාවේ ‘අවම ජනවරමක්’ ලබා ගත් ජනාධිපතිවරයා. ඔහු අතිසුළුතර ජනාධිපතිවරයෙක්. ජනාධිපතිවරණ ජයග්‍රහණය ආසන්නයේම මහ මැතිවරණය තිබුණ නිසා පොල්ලෙලි, තැඹිලි කෝම්බ 159ක් පාර්ලිමේන්තුවට ආවා. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණයේ දී යළිත් ඡන්ද ප්‍රමාණය විශාල වශයෙන් අඩු වුණා. මේ වන විට ජනමතය විශාල වශයෙන් වෙනස් වෙලා. ඒ නිසා මේ ආණ්ඩුව ජනමතයට ඉඩ දෙන්න බයයි. අනෙක් අතට ඔවුන් කවදාවත් ආණ්ඩු බලයක් අපේක්ෂා කළේ නැහැ. මේක අහම්බෙන් ඔවුන් අතට ලැබුණ බලයක්. ඒ නිසා තමයි ‘අපි තව අවුරුදු 10ක්, 20ක් බලයේ ඉන්නවා වාගේ වහසි බස් කියන්නේ. ඒත් ඔවුන්ගේ සිහින කිසිමදාක සැබෑ වෙන්නේ නැහැ.
ඔබ මේ ප්‍රකාශය කරන්නේ වගකීමෙන්ද ?
ඔව්, ඉතිහාසය පුරාම ගෙදර යන්න ළංවෙන කොට ආණ්ඩු මේ වගේ හිස්කතා කියනවා. මේ බය ඇරෙනන් කියන කතාවක්. මේවා හිතට හයිය ගන්න කියන කතා. ඒ වගේම කිසිම ආණ්ඩුවක් ‘ඔන්න අපි ගෙදර යනවා’කියලා කිව්වේ නැහැ. ජනතාව තමයි ආණ්ඩු ගෙදර යවන්නේ. පසුගිය ආණ්ඩුවේ අයත් මීට නොදෙවැනි ආකාරයට තමයි කතා කළේ. ඒත් අවසානයට මොකද වුණේ ?. ඒ නිසා අපි කියනවා මොන උද්දච්ඡ කතා කිව්වත් වැඩක් නැහැ, ජනතාවට මේ ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් නැහැ.
‘ඡන්ද තිබුණත් සල්ලි නැහැ – සල්ලි තිබුණත් ඡන්ද නැහැ’ කියලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඒ කුප්රටක ප්‍රකාශයට සමාන ප්‍රකාශයක් පසුගිය දා ජවිපෙ මහ ලේකම්වරයත් කළා. ඔබ මේ ගැන මොකද හිතන්නේ ?
වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බවට, නිසි කලට සෙසු සියලු මැතිවරණ පවත්වන බවට මේ ආණ්ඩුව මැතිවරණ ප්‍රතිඥාවක් දී තිබෙනවා. ඒ අනුව ජවිපෙ මහ ලේකම්වරයාගේ යාපනය කතාව ජනවරමට පටහැනියි. ඒක ජනවරමට පිටුපෑමක්, ජනවරම පාවා දීමක්. අනෙක් අතට පක්ෂ ලේකම්වරයෙක් ලෙස ඔහුට එවැනි ප්‍රකාශයක් කරන්න අයිතියක් නැහැ. නමුත් මාළිමාවේ මහ ලේකම්වරයා සහ කැබිනට් ප්‍රකාශකවරයා ටිල්වින් සිල්වාට රිදෙන පිළිතුරක් දී තිබෙනවා. ඔහුට හිමිතැන ගැන කියලා දීලා තිබෙනවා.
ඔබ කියනවා ආණ්ඩුවේ බලය, ජනමතය පිරිහෙළා කියලා. සමගි ජන බලවේගය මේ තත්ත්වය තුළ අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ මොනවා ද ?
අද ජනතාව හමුවේ තිබෙන ‘එකම’ පිළිතුර බවට සමගි ජන බලවේගය පත්ව තිබෙනවා. ඇත්ත වශයෙන්ම ජනතාවට දැන් අත්හදා බලන්න තියෙන එකම තැන තමයි සමගි ජන බලවේගය. පක්ෂ දර්ශනය, ප්‍රතිපත්ති, වැඩපිළිවෙළ, නායකත්වය සහ කණ්ඩායම ආදි සෑම අංශයකම අත්හදා බලන්න තිබෙන එකම තැන තමයි සමගි ජන බලවේගය. ඒ වගේම ආර්ථික, සමාජ සංවර්ධනය හ සුබසාධානය ආදි ජාතික වශයෙන් වැදගත් සියලුම අංශවල අවබෝධයක් තිබෙන, අත්දැකීම් තිබෙන, නඩු නැති, ඇඟිල්ල දික්කරලා චෝදනා කරන්න බැරි පිරිසිදු කණ්ඩායම තමයි සමගි ජන බලවේගය. ඒ නිසා අපි හිතනවා විපක්ෂයේ සෙසු පක්ෂත්, ආණ්ඩුව ගැන කළකිරීමට පත්ව සිටින සියලු කණ්ඩායම් එකම වේදිකාවකට ගෙනවිත් රට ගොඩගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවේ දී ජනතාව අපට සහාය දෙයි කියලා.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 මැයි 31 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.















