කණ්ඩායම දිනවන්න තමයි මගේ එකම අරමුණ – කමිඳු මෙන්ඩිස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් සනිටුහන් කරමින්, කමිඳු මෙන්ඩිස් ජාතික කණ්ඩායමේ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන අංශ තුනේම උප නායකයා ලෙස නම් කර තිබේ. වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කමිඳු, ජාතික කණ්ඩායමේ මෙවන් වගකීමකට පත්වන්නේ පළමු වතාවටය.

මෙම නව වගකීම පිළිබඳ අදහස් දක්වමින් කමිඳු පැවසුවේ, “මේක වෙනස් වගකීමක්. හැබැයි මම ඒක හොඳ අවස්ථාවක් විදියට සලකනවා. උප නායකයා වුණත් සාමාන්‍ය ක්‍රීඩකයෙක් වුණත්, ටීම් එකට එකම විදියේ සහයෝගයක් දෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මට පුළුවන් උපරිම සහයෝගය නායකයාට, කණ්ඩායමට සහ පුහුණු කාර්යය මණ්ඩලයට ලබා දෙන එක තමයි මගේ බලාපොරොත්තුව.”යනුවෙනි.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 26 වැනිදා පිටත්ව ගිය අතර ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී නව උප නායකයා මේ අදහස් පළ කර සිටියේය.

මෙහිදී ඉදිරියේදී තමන්ට ඇති කොදෙව් තරග සංචාරය පිලිබඳව ද අදහස් දක්වමින් කමිඳු පවසා සිටියේ, “කණ්ඩායමක් විදියට බැලුවොත්, අපි හොඳ මානසිකත්වයකින් ඉන්නවා. අලුත් මුහුණුත් එක්ක මේ සංචාරය හොඳට කරගෙන යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා” යනුවෙනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දකවමින් කමිදු සඳහන් කර සිටියේ “මේ සංචාරය විතරක් නෙවෙයි, 2027 ලෝක කුසලානය දක්වා යන ගමනක්. ඒ සඳහා සෑම ක්‍රීඩකයෙක්ම උපරිම කැපවීමෙන් කණ්ඩායමට දායක වෙන්න ඕන. පියවරෙන් පියවර අපේ ඉලක්කයට යාම තමයි අපේ සැලැස්ම” යනුවෙනි.

කොදෙව් තණතීරු පිළිබඳ අත්දැකීම්ද ඔහු සතුව ඇත. කමිඳු සඳහන් කරන ආකාරයට ඔහු අවස්ථා ද්විතවයකදී බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සංචාරය කර ඇත්තේය. එම අත්දැකීම් සමග කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ දැනුම එක්කරමින් හොඳ තරගාවලියක් අවසන් කිරීමට හැකිවේ යැයි ඔහු විශ්වාස කරයි.

“කොදෙව් තණතීරුවල මම එක පාරක් දෙපාරක් වගේ ක්‍රීඩා කරලා තියෙනවා. අපේ ටීම් එකේ තවත් අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ අත්දැකීම් එක්ක හොඳ තරගාවලියක් කරලා සංචාරය අවසන් කරන්න තමයි අපේ බලාපොරොත්තුව” යි කමිදු පවසයි

උප නායකත්වය තම ක්‍රීඩා දක්ෂතාවයට බලපෑමක් නොවන බවද කමිඳු සඳහන් කළේය. පසුගිය වසර දෙකක කාලය පුරාම තමා ටෙස්ට්, ඒක්දින සහ විස්සයි-20 යන අංශ තුනේම ක්‍රීඩා කොට පළපුරුද්ද තිබෙන අතර, පෙර පරිදිම නිදහස් මානසිකත්වයකින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

“කලින් කිව්වා වගේ, ක්‍රීඩකයෙක් වුණත් උප නායකයෙක් වුණත් කණ්ඩායමට උපරිම දෙන එක තමයි වගකීම. ඒ නිසා උප නායකත්වය මගේ දක්ෂතා එක්ක සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මම හැම වෙලාවෙම ටීම් එක වෙනුවෙන් උපරිම දෙනවා. කණ්ඩායම දිනවන්න තමයි මගේ එකම අරමුණ.” කමිදු කියයි.

පාසල් කාලයේ සිටම කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ අනාගත නායකත්වය සදහා සූදානම් කළ ක්‍රීඩකයකු ලෙස සැලකෙන අතර, ඔහු වසර දෙකක කාලයක් 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය හෙබවීය. ඒම අත්දැකීම් තමන්ට මෙම නව වගකීම සඳහා විශාල ශක්තියක් බවද කමිඳු පවසයි.

“මම 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරුවා. මම හිතන්නේ නායකයාට සහ පුහුණු කාර්ය මණ්ඩලයට උපරිම සහයෝගය ලබාදී, අනෙක් ක්‍රීඩකයන් සමඟ එකමුතුවෙන් කණ්ඩායමක් විදියට ඉදිරියට යාම තමයි වැදගත් වෙන්නේ. මගේ අත්දැකීම් භාවිත කරලා මට පුළුවන් උපරිම සහයෝගය ලබාදීම තමයි මගේ බලාපොරොත්තුව,” යැයි කමිඳු පැවසීය.

මේ අතර, නව පුහුණුකරු සමඟ පැවැති පළමු පුහුණු සැසිය පිළිබඳවද කමිඳු සතුට පළ කළේය.

“ඇත්තටම අලුත් පුහුණුකරුත් එක්ක පුහුණුවීම් කළා. ඒ වෙලාවේ මම පැය එකහමාරක් දෙකක් පමණ බැට් කළා. ඒ අතරතුර අපි ගොඩක් දේවල් කතා කළා. මම හිතනවා ඒ සැසිය හොඳට ගියා කියලා. ඉදිරියේදීත් පුහුණුකරුවන් එක්ක කතා කරලා ක්‍රීඩකයන් කළමනාකරණය කරගෙන මේ ගමන ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා”, යැයි ඔහු පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ජුනි 03 වැනිදා තරග 3කින් සමන්විත එක්දින තරගාවලියෙන් ආරම්භ වේ. අනතුරුව විස්සයි-20 තරග 3ක් පැවැත්වෙන අතර, අවසානයේ ටෙස්ට් තරග 2කින් සමන්විත තරගාවලියක්ද පැවැත්වේ. ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිව්දින පුහුණු තරගයකටද සහභාගි වීමට නියමිතය.

source: srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website