ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අතර විශේෂ හමුවක් පසුගිය දා සිදුවිය. මෙම හමුවේ අරමුණ වූයේ පසුගිය රජය විසින් කෙටුම්පත් කරන ලද ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය’ට අදාළව සාකච්ඡා කිරීමටය.
“ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධ මේ ලියවිල්ල කෙටුම්පත් කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ. රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් තමයි මේ කෙටුම්පත් ක්‍රියාවලියට සම්බන්ධ වුණේ. අපේ මේ කෙටුම්පතට විරෝධය පළ කළා. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ අනුබද්ධිත සංවිධාන නියෝජිතයින් පිරිසකුත් මේ සාකච්ඡාවට සහභාගී වුණා” මෙහි දී රංග බණ්ඩාරනායක පෙන්වා දුන්නේ තම සංවිධානවල විරෝධතා නොසලකා නැවත කෙටුම්පතක් සම්පාදනය කර තිබූ බවයි.
“අපේ විරෝධතාවය ප්‍රශ්න කිරීම සඳහා තමයි නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් අපව කැඳවලා තිබුණේ.
මෙම සාකච්ඡාවේ දී කරුණු ගණනාවක් නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ බව කී රංග, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජයට ඇති අවශ්‍යතාව ද මෙහි දී හෙළි කළ බව පැවසුවේය.
“ඒ වගේම 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවත් රජය පාර්ශ්වයෙන් කියවුණා” රංග පැවසුවේය.
කොමිෂම දියකර හැරීම
වත්මන් රජය බලයට පත් වූ දා සිට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව අක්‍රිය කිරීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට තිබෙන බව පෙනී යන බව රංග බණ්ඩාරනායක පැවසුවේය.
තම සංවිධානය ආරම්භයේ සිට මෙම තත්ත්වය නිරීක්ෂණය කළ බව කී රංග, තොරතුරු කොමිෂමේ සභාපතිවරයා පත් කිරීමට යාමේ දී ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය ද විවේචනය කළේය.
“ඒ අවස්ථාවේ මාධ්‍ය සංවිධාන අතර ලොකු කැළඹීමක් ඇති වුණා. ඒත් අයිතිය ගැන කිසිම තැකීමකින් තොරවයි වත්මන් ආණ්ඩුව බලයට පත් වූ අවස්ථාවේ සිට කටයුතු කළේ. ඒ මත පදනම් වෙලා තමයි අපට යම්කිසි විරෝධයක් පළ කිරීමට සහ සමාජයේ මතයක් ඇති කිරීමට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මේ ආණ්ඩුව තොරතුරු දැන ගැනීමේ පනත අක්‍රිය කිරීම සඳහා ඉතාම සැලසුම් සහගතව කටයුතු කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් තමයි අපට ජනාධිපතිවරයාට ලියන්න සිද්ධ වුණේ. අපේ විරෝධතාවය පළ කරලා අපි පසුගිය මාර්තු මාසයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. නමුත් නියෝජ්‍ය අමාත්‍යවරිය දුරකථනයෙන් කතා කර ප්‍රකාශ කළා අප විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය වැරදියි කියලා. නමුත් අපි අපේ මාධ්‍ය නිවේදනයෙන් ප්‍රශ්න කළේ, මෙවැනි සැලසුමක් ක්‍රියාත්මක වෙනවාද ?, මේ සැලසුම ක්‍රියාත්මක වෙනවා නම් ඒ කොහොමද කියලා.”
මෙහිදී රංග බණ්ඩාරනායක පැවසුවේ රජය තොරතුරු කොමිෂම දියකර හැරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව තම සංවිධානයේ සැකයට භාජනවී ඇති ඇති බවයි.
“ඒ පිළිබඳව තමයි අපි අපේ මාධ්‍ය නිවේදනයේ සඳහන් කළේ. නමුත් කියන්න කනගාටුයි අපි නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරිය දුරකථනයෙන් අමතා සිය විරෝධය පළ කළා. ඒ හරහාම අපට පෙන්නුම් කරනවා කොතරම් දුරට අභ්‍යන්තර සැලසුමක් ක්‍රියාත්මක වෙනවාද කියන කාරණය” රංග බණ්ඩාරනායක වැඩි දුරටත් පැවසුවේය.
තොරතුරු පනත සංශෝධනයට
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය සමඟ පැවැති සාකච්ඡාවේ දී තොරතුරු පනත සංශෝධනය කිරීමට ඇති අවශ්‍යතාව ඇය අවධාරණය කළ බව ද රංග පැවසුවේය.
“පනතේ යම් යම් කාරණා සම්බන්ධව ඔවුන්ට ගැටලු මතු වෙලා තිබුණා. ඒ නිසාම මේ පනත සංශෝනය කිරීමේ අවශ්‍යතාවක් රජයට තිබෙන බවත් පැහැදිලි වුණා. මේක බරපතළ කාරණයක්. මම පෞද්ගලිකව මේ ගැන නියෝජ්‍ය අමාත්‍යවරියගෙන් ප්‍රශ්න කළා. අපේ ස්ථාවරය තමයි දකුණු ආසියාවේ වඩාත්ම බලගතුම තොරතුරු පනත තමයි ලංකාවේ පනත. මේ පනත සම්මත කර ගැනීම වෙනුවෙන් සිවිල් සංවිධාන, යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට දායක වූ විවිධ බහුජන ව්‍යාපාර සහ දේශපාලනඥයින් දැඩි කැපවීමකින් කටයුතු කළා” මෙහි දී රංග පැවසුවේ නියෝජ්‍ය අමාත්‍යවරියට තම ස්ථාවරය පැහැදිලි කර දුන් බවයි.
“මම නියෝජ්‍ය අමාත්‍යවරියට අපේ නිරීක්ෂණ පැහැදිලිව ප්‍රකාශ කළා. වත්මන් රජය බලයට පත් වූ පසු තොරතුරු කොමිෂම සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය අනුව කොමිෂම අක්‍රිය කිරීමට හිතාමතාම කටයුතු කරමින් සිටින බව පැහැදිලිව පෙනී යන බව මම ඇයට කිව්වා. අපට අපේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබුණා. විශේෂයෙන් ඇය ලබා දුන් දුරකතන ඇමතුමෙන් පවා ඒ අවස්ථාව ලැබුණා” රංග පැවසුවේය.
පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය නැවත වරක් අවධාරණය කළ බවත් තොරතුරු පනත සංශෝධනය කළ ද කොමිෂම අක්‍රිය නොකරන බවට ඇය සහතික වූ බවත් රංග සඳහන් කළේය.
සංශෝධන මොනවා ද ?
තොරතුරු පනතට ගෙන ඒමට නියමිත සංශෝධන සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරිය ‘දීර්ඝ’ පැහැදිලි කිරීමක් නොකළ බව කී රංග තම සංවිධානයට ඇති ගැටලුව ද එයම බව ප්‍රකශ කළේය.
‘අපට තිබෙන ගැටලුවත් ඒකම තමයි. ඔවුන් මොන සංශෝධන ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා ද කියන එක ගැන අපට අදහසක් නැහැ. නමුත් අපි අපේ මාධ්‍ය නිවේදනය හරහා මේ ගැන හෙළි කළා. ආණ්ඩුවට බරපතළ ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙන බව පේනවා. උදාහරණයක් ලෙස ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ සේවය කරන නිලධාරීන් නම් ඉල්ලුවාම ආණ්ඩුව දැක්වූ ප්‍රතිචාරය ගන්න පුළුවන්. ජනාධිපති ලේකම් කාර්යාලය දිගින් දිගටම අදාළ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. මේ හරහාම පේනවා ආණ්ඩුව තොරතුරු පනත නොසලකා හරිමින් කටයුතු කරන ආකාරය. මෙවැනි සිදුවීම් හරහා ආණ්ඩුවේ යටි අරමුණ පැහැදිලි වෙනවා” රංග බණ්ඩාරනායක වැඩි දුරටත් පැවසුවේය.
(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සමාජ සංවාද මාලාවේ 275 වැනි වැඩසටහනේ දී දක්වන ලද අදහස් ඇසුරිනි.)















