ශ්‍රී ලංකාවේ පළමු වාණිජ මට්ටමේ Battery Energy Storage System ව්‍යාපෘතියේ පළමු බැටරි පද්ධති කොළඹ වරායට

ශ්‍රී ලංකාවේ පළමු වාණිජ මට්ටමේ Battery Energy Storage System (BESS) ව්‍යාපෘතියේ පළමු මෙගාවොට් 20 ක බැටරි පද්ධතිය ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

රුපියල් බිලියන 40 ක ආයෝජනයකින් ක්‍රියාත්මක වන මෙම ජාතික ව්‍යාපෘතිය, පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ ස්ථාවර, කාර්යක්ෂම සහ නවීන විදුලි පද්ධතියක් ගොඩනැගීම සඳහා ගනු ලබන විප්ලවීය පියවරකි. පළමු අදියර යටතේ දිවයින පුරා ප්‍රධාන ග්‍රිඩ් උපපොළවල් ආශ්‍රිතව බැටරි ගබඩා පද්ධති ස්ථාපිත කිරීමට නියමිත අතර, නව ගාල්ල සහ මාතර උපපොළවල් පළමු සම්බන්ධක ස්ථාන ලෙස ක්‍රියාත්මක වේ.

මෙම තාක්ෂණය මගින් සූර්ය බලයෙන් නිපදවන අතිරික්ත විදුලිය ගබඩා කර රාත්‍රී උච්ච ඉල්ලුම් කාලයේදී භාවිතයට ගැනීමට, පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට සහ ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරත්වය හා විශ්වසනීයතාවය ඉහළ නැංවීමට හැකි වේ.

2025 වසරේදී ලං.වි.ම.ට සම්බන්ධිත වහල මත සවිකරන ලද සූර්ය බලශක්ති පද්ධති මගින්, සමස්ත විදුලි උත්පාදනයෙන් 9.4%කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබූ අතර, බැටරි ගබඩා පද්ධති හඳුන්වාදීමත් සමඟ එම දායකත්වය තවදුරටත් ඉහළ යාමට අපේක්ෂා කෙරේ.

එසේම, 2025 වසරේදී ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධනය හේතුවෙන් පාරිභෝගික කාණ්ඩ වෙත සිදුකළ විදුලිබල අලෙවිය 5.8%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එම විදුලි අවශ්‍යතාවය සපුරාලීම සඳහා ජල විදුලිය ප්‍රධාන ප්‍රභවයක් ලෙස භාවිතා කර ඇති අතර, එහි දායකත්වය 35.5%කි. තවද, 2025දී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ සමස්ත දායකත්වය 24.7%ක් ලෙස වාර්තා වී ඇති අතර, මෙම බැටරි ගබඩා පද්ධති හඳුන්වාදීම මඟින් එම අගය ඉදිරි කාලය තුළ තවදුරටත් ඉහළ නැංවීමට හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website