ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් (Mr. Matthew Duckworth) මහතා අද දින (22) කම්කරු අමාත්‍යාංශයේදී කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.
මෙම හමුවේදී දෙරට අතර පවතින දිගුකාලීන හා මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය තහවුරු කෙරිණි. එහිදී දෙපාර්ශවයම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සමාලෝචනය කළ අතර, ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සහ වෙළඳ හා ආයෝජන අවස්ථා වර්ධනය කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
තිරසාර හා සියල්ලන් ඇතුළත් කරගත් ආර්ථික වර්ධනයක අවශ්‍යතාවය අවධාරණය කරමින්, ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ හවුල්කාරිත්වය සහ සහයෝගය ශ්‍රී ලංකා රජය වෙත ලබාදෙන බව මහකොමසාරිස්වරයා මෙහිදී නැවතත් සහතික කළේය.
මීට අමතරව, ණය ආපසු ගෙවීමේදී මෑතකදී සිදුවූ වංචනික අරමුදල් හුවමාරු කිරීම් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කටයුතු සඳහා, ඕස්ට්‍රේලියානු රජයේ උපරිම සහයෝගය ලබා දෙන බව ද මහකොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මෙම නිල හමුව සඳහා ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරුන් වන සෝයි කිඩ් (Ms. Zoe Kidd) මහත්මිය සහ සින් ෂි (Mr. Xin Shi) මහතා ද එක්ව සිටියහ.















