“පරිවර්තන කමිටුව“ පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “මූල්‍ය අර්බුදයක“ මුහුණ දී සිටින බවට ඇතැම් මාධ්‍ය මගින් පළ කර ඇති වාර්තා, සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුලු කිසිදු පදනමක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති යටතේ, ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් තමන්ට හිමි බලතල ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් “පරිවර්තන කමිටුව” පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි.
එම පනතේ 32 වගන්තිය යටතේ නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව, අදාළ ක්‍රීඩා ආයතනයේ මූල්‍ය හා වත්කම් ඇතුළුව සියලුම කටයුතු, දේපළ සම්බන්ධ බලතල, පරිපාලන කාර්යයන්, කළමනාකරණය සහ පාලනය, ගරු අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුව වෙත නීතිමය වශයෙන් පැවරේ.
ඒ අනුව, නිසි ලෙස පත් කරන ලද මෙම පරිවර්තන කමිටුවට, නව විධායක කමිටුවක් තෝරා පත් කර ගන්නා තෙක්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම මූල්‍ය මෙහෙයුම් සහ ආයතනික බැඳීම් ඇතුළුව එහි සමස්ථ පරිපාලන කටයුතු කළමනාකරණය කිරීම සඳහා පූර්ණ බලය සහ නෛතික අධිකාරිය හිමිව ඇත.
අදාළ කමිටුව පත් කිරීම රජයේ ගැසට් පත්‍රය මගින්ද නිසි ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සියලුම පරිපාලන හා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා එයට පූර්ණ නෛතික බලය හිමි වේ.
පරිවර්තන කමිටුව පත් කිරීමෙන් පසු මූල්‍ය අක්‍රමිකතා හෝ ආයතනික මෙහෙයුම් කඩාකප්පල් වී ඇති බවට පළ වන වාර්තා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ ප්‍රතික්ෂේප කර සිටින අතර, එවැනි ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නැවත අවධාරණය කර සිටියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය දෛනික මූල්‍ය හා පරිපාලන කටයුතු ඇතුළුව එදිනෙදා සියලු මෙහෙයුම් කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සාමාන්‍ය පරිදි සිදු කරමින් පවතින අතර, සැපයුම්කරුවන්, සේවා සපයන්නන්, සේවකයින්, ක්‍රීඩකයින් සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන්ට ගෙවීම් නියමිත වේලාවට සිදු කිරීමද එයට ඇතුළත් බවද මෙයින් වැඩිදුරටත් සඳහන් කර සිටියි.
source:srilankacricket,lk














