1974 දී තමිල්නාඩු මහ ඇමැති කරුණානිධිගේ සිට ඔහුගේ දේශපාලන ප්‍රතිවාදිනිය වන ජයලලිතා ජයරාම් ද, පසුව කරුණානිධිගේ අනුප්‍රාප්තික (පුත්‍රයා) ස්ටාලින් ද උතුරේ ධීවර සූරාකෑම සාධාරණීකරණය කර ගැනීමට සහ තමිල්නාඩුවේ ධීවර ඡන්ද ආකර්ශනය කර ගැනීමට ‘කච්චතිව් යළි පවරා ගැනීමට’ දේශපාලන ඇමක් ලෙස යොදා ගත්හ. තමිල්නාඩුවේ වත්මන් මහ ඇමැති තලපති විජේ ද සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී ‘කච්චතිව් ඇම’ දැම්මේය.
තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස කොලිවුඩ් තරුවක් වන තලපති විජේ පත් වීමත් සමඟ ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත සම්බන්ධ ශ්‍රී ලංකාවේ හිමිකම සහ උතුරු මුහුදේ තමිල්නාඩු ධීවර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ දැඩි අවධානයක් යොමු වී තිබේ. මෙම ලිපියෙන් විජේගේ පත්වීමත් සමඟ මෙම ක්ෂේත්‍ර දෙක තුළ සිදුවිය හැකි ප්‍රවණතා සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ.
‘කච්චතිව්’ යනු ඉන්දියාවේ රාමේෂ්වරන් සිට සැතපුම් 15ක් පමණ ඊසාන දෙසින් සහ ශ්‍රී ලංකාවේ විශාලතම දූපත ලෙස සැලකෙන ඩෙල්ෆ්ට් දූපත් වලින් සැතපුම් 14ක් පමණ නිරිත දෙසින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ පිහිටා ඇති අක්කර 285ක් (වර්ග කිලෝ මීටර් 1.15ක්) පමණ නිසරු දූපතකි. මෙම දූපත තැනිතලා, වැලි සහිත බිම් තීරුවක් වන අතර එය සීමිත ස්වාභාවික සම්පත් සහිත නමුත් පෝක් සමුද්‍ර සන්ධියේ පොහොසත් ධීවර ජලයේ උපායමාර්ගික පිහිටීමකට හිමිකම් කියයි. යාපනයේ රදගුරුතුමා විසින් ඔහුගේ රදගුරු පදවියේ කොටසක් ලෙස පරිපාලනය කරනු ලබන රෝමානු කතෝලික පල්ලියක් හැර වෙනත් ස්ථිර පදිංචිකරුවන් හෝ ස්ථිර ඉදිකිරීම් මෙම දූපතේ නොමැත. නමුත් මත්ස්‍යයින්, මුතු බෙල්ලන් සහ කොරල් වලින් සමන්විත කච්චතිව් අවට මුහුද සුන්දර මුහුදු කලාපයක් ලෙස සැලකේ.
මෙම දූපත දෙමළ සහ සිංහල ධීවරයින් විවේක ගැනීමේ සහ දැල් ඇතුළු ධීවර ආම්පන්න වියළා ගැනීමට සහ කුණාටු වලින් ආරක්ෂා වීමට භාවිතා කළ බවට සාධක ඇත. පසු කාලීනව රෝමානු කතෝලික පල්ලිය දිවයිනේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිකරන ලද අතර, එය දෙමළ සහ සිංහල කතෝලිකයන් වාර්ෂිකව සංචාරය කරන වන්දනා ස්ථානයක් බවට පත්ව ඇති අතර ශ්‍රී ලංකා රජය විසින් එය පූජනීය ප්‍රදේශයක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත.
ඉතිහාසය
කච්චතිව් දූපත සම්බන්ධයෙන් සිදුවන වර්තමාන සාකච්ඡාව තේරුම් ගැනීමට දූපතේ හිමිකාරීත්වය සම්බන්ධ ඉතිහාසය තේරුම් ගැනීම මෙන්ම ඉන්දීය මධ්‍යම රජයේ මෙම තීරණයට දකුණු ඉන්දීය දේශපාලනඥයින් කොන්දේසි විරහිතව විරුද්ධ වූ ආකාරය ද සිහිපත් කර ගත යුතුය. එවැනි අවබෝධයක් ‘කච්චතිව් යළි පවරා ගැනීම’ තලපති විජේගේ ඉලීමක් පමණක් නොව (1974 දී) තමිල්නාඩුවේ දැවැන්තම දේශපාලන චරිතයක් වන DMK සභාපති එම්. කරුණානිධිගේ සිට ජයලලිතා ජෙයරාම් දක්වා, කරුණානිධිගේ පුත්‍රයා වන ස්ටාලින් දක්වා ද නොනැසී පවතින සිහිනයක් බව වටහා ගැනීමට හේතු වේ.
මෙම දූපත ඓතිහාසිකව රාමනාද් සමින්දාරි (තමිල්නාඩුවේ රාමනාද්හි සේතුපති පාලකයන්ගේ රාජ්‍යය) හි කොටසක් විය. බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙම දූපත මදුරාසි ජනාධිපති ධුරයේ කොටසක් ලෙස පරිපාලනය කරන ලද අතර සමහර සිතියම්වල එය ඉන්දියානු භූමිය ලෙසත්, අනෙක් ඒවා ශ්‍රී ලාංකික භූමිය ලෙසත් දක්වා තිබුණ අතර අධිකරණමය සංකූලතා වළක්වා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයන් මෙම ගැටලුව අපැහැදිලි ලෙස තබා ගත්තේය.
කච්චතිව් ගැටලුව මුලින්ම මතු වූයේ 1921 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ධීවර මාර්ගය වෙන් කිරීම සඳහා පැවති සමුළුවේදී වන අතර ඉන් පසුව සමුද්‍රීය මායිම් වෙන් කිරීම සහ ඒ ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක් පැවැත්විණි.
කච්චතිව් දූපත සඳහා ශ්‍රී ලංකාවේ හිමිකම් පෑම 1924 දී ඉන්දියාව සහ සිලෝන් (ශ්‍රී ලංකාව) ලිපි හුවමාරුවක ලැයිස්තුගත කර ඇති අතර, එහි සඳහන් වන්නේ ඉන්දීය රජයේ මිනින්දෝරු නිලධාරීන් 1876 තරම් ඈත කාලයක සිට කච්චතිව් දූපත එවකට ලංකාවේ කොටසක් ලෙස සැලකූ බවයි. එපමණක් නොව, කච්චතිව් දූපත පෘතුගීසි සහ පසුව බ්‍රිතාන්‍ය පාලකයින්ගේ කාලයේ සිට ශ්‍රී ලංකාවේ අධිකරණ බලය යටතේ පැවතුණ බව එම ලිපිවල සඳහන් වේ.
නිදහසින් පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙකම කච්චතිව් වෙත හිමිකම් කී අතර දශක දෙකකට වැඩි කාලයක් සාකච්ඡා පැවතුනි. මෙම සාකච්ඡාවලදී ඉන්දියාවේ හිමිකම් පෑමට පදනම් වූයේ, ඓතිහාසික රාමනාද් සමින්දාරි හිමිකාරිත්වය, දෙමළ ධීවරයින්ගේ චාරිත්‍රානුකූල භාවිතය සහ ඉන්දියාවට භූගෝලීය සමීපත්වයයි.
ශ්‍රී ලංකාවේ හිමිකම් පෑමට පදනම වශයෙන් ලංකාවට අයත් දූපතක් ලෙස ලෙස පෙන්වන පෘතුගීසි යටත් විජිත සිතියම්, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යුගයේ පිළිවෙත් එය ලංකාවට (Ceylon) අයත් දූපතක් ලෙස පිළිගැනීම සහ චාරිත්‍රානුකූල පරිපාලන පිළිවෙත් උපුටා දක්වන ලදි.
ඉන්දිරා – සිරිමාවෝ ගිවිසුම – 1974
1970 දී බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරිය වූ ඉන්දිරා ගාන්ධි අතර තිබූ දැඩි මිත්‍රත්වය දෙරට අතර සහජීවනය තහවුරු කර ගැනීමට විශාල ශක්තියක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස නිදහසින් පසු දශක කිහිපයක් දෙරට අතර මතභේදයට තඩු දී තිබූ කච්චතිව් දූපත සම්බන්ධ ගැටලුව සාමකාමීව විසඳා ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 1974 ජුනි මාසයේදී ඉන්දියාවේ අගමැතිනි ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක අතර සමුද්‍රීය සීමා ගිවිසුමකට අත්සන් තැබුවේය.
එම ගිවිසුම අනුව,
- කච්චතිව් ලංකාවට පවරා දීම,
- පෝක් සමුද්‍ර සන්ධියේ සමුද්‍රීය සීමාව ස්ථාපිත කිරීම,
- කච්චතිව් අවට ප්‍රදේශයේ ඉන්දියානු ධීවරයින්ට සාම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ලබා දීම (මෙම විධිවිධානය පසුව මතභේදයට තුඩු දුන්නේය) සිදුවිය.
1974 දී ඉන්දියාව කොන්දේසි සහිත ගිවිසුමක් මඟින් කච්චතිව් කෙරෙහි ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය විධිමත් ලෙස තහවුරු කරන ලද නමුත් මෙම පිළිගැනීම ඉන්දීය පාර්ලිමේන්තුව විසින් අනුමත නොකළ බැවින්, පැවරීමේ නීත්‍යානුකූලභාවය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් විය.
1974 ගිවිසුමට අනුව කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් බවට මධ්‍යම රජයේ ස්ථාවරයට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදී විරුද්ධ වූ DMK සභාපති එම්. කරුණානිධි, දූපතේ ස්වෛරීභාවය ‘කිසි විටෙකත් ලංකාවට නොව ඉන්දියාවට’ බව පැවසූ බව මාධ්‍යවල වාර්තා විය.
1974 දී ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව අතර අත්සන් තබන ලද ගිවිසුවේ වගන්ති කිහිපයක් වෙත අවධානය යොමු කිරීම අඩ සියවසක මතභේදය වටහා ගැනීමට වැදගත්ය. ගිවිසුමේ 4 වන වගන්තියේ සඳහන් වන්නේ කච්චතිව් දූපත ශ්‍රී ලංකා ජල සීමාවට අයත් බව තීරණය කළ බවයි. ගිවිසුමේ 5 වන වගන්තියේ සඳහන් වන්නේ, ‘ඉහත සඳහන් කරුණු වලට යටත්ව, ඉන්දියානු ධීවරයින්ට සහ වන්දනාකරුවන්ට මෙතෙක් මෙන් කච්චතිව් නැරඹීමට ප්‍රවේශය භුක්ති විඳිය හැකි අතර, මෙම අරමුණු සඳහා සංචාරක ලියකියවිලි හෝ වීසා ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් අවශ්‍ය නොවනු ඇත’ යන්නයි. ගිවිසුමේ 6 වන වගන්තියේ සඳහන් වන්නේ, “ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ යාත්‍රා එකිනෙකාගේ ජලයේ ඔවුන් සාම්ප්‍රදායිකව භුක්ති විඳි අයිතිවාසිකම් භුක්ති විඳිනු ඇත” යනුවෙනි. මෙම වගන්තිය මඟින්, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ යාත්‍රාවලට එකිනෙකාගේ මුහුදු සීමාවන් මත නාවික අයිතිවාසිකම් පමණක් ආරක්ෂා වී ඇත.
“දෙපාර්ශ්වයේ අයිතිවාසිකම් අවසන් කිරීමට තුඩු දෙන සූදානම් කිරීමේ සටහන් වලින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ, 5 වන වගන්තිය යටතේ වන්දනාකරුවන්ගේ අයිතිවාසිකම් පල්ලියේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වීමට සීමා කර ඇති බවත්, ධීවරයින්ගේ ප්‍රවේශ අයිතිවාසිකම් ඔවුන්ගේ දැල් වියළීමට සහ මසුන් ඇල්ලීමට සීමා කර ඇති බවත්ය. එබැවින් 5 වන සහ 6 වන වගන්තිවල විධිවිධාන එක්ව ගත් විට, ඉන්දියානු ධීවරයින්ට හෝ යාත්‍රාවලට ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලීමේ කිසිදු අයිතියක් ලබා නොදේ” නීතිඥ ලක්ෂ්මන් අයි. කීර්තිසිංහ 2014 ජූලි 22 වැනි දා daily news පුවත්පතට රචනා කළ ලිපියක තර්ක කළේය.
1976 දී තවත් ගිවිසුමක්
මෙම ක්‍රියාවලියේ තවත් ඉදිරි පියවරක් ලෙස, මන්නාරම් බොක්ක සහ බෙංගාල බොක්කෙහි ඉන්දු – ශ්‍රී ලංකා සමුද්‍රීය සීමාව සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අතිරේක ගිවිසුමක් / Supplementary Agreement 1976 මාර්තු දී අත්සන් කරන ලද අතර එමඟින්,
- මන්නාරම් බොක්ක සහ බෙංගාල බොක්කෙහි සමුද්‍රීය සීමාවන් නිර්වචනය කරන ලදී.
- කච්චතිව් අවට ඉන්දියානු ධීවරයින්ගේ සාම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ඉවත් කෙරේ.
- ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලීම සඳහා ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ.
1976 සංශෝධනය මගින් 1974 ගිවිසුමේ ඇතුළත් කර තිබූ ඉන්දීය ධීවරයින් සඳහා වූ ආරක්ෂක විධිවිධාන ඵලදායී ලෙස ඉවත් කරන ලද අතර එමඟින් තමිල්නාඩුව තුළ මෙම අත්හැරීම තවත් මතභේදාත්මක විය.
මෙහි දී 1976 ගිවිසුමේ 5 වන වගන්තියේ වෙත අවධානය යොමු කිරීම වැදගත්ය. එහි සඳහන් වන්නේ,
- සෑම පාර්ශ්වයකටම ඓතිහාසික ජලය සහ භෞමික මුහුද මෙන්ම ඉහත සඳහන් මායිමේ තම පැත්තට වැටෙන දූපත් කෙරෙහි ස්වෛරීභාවය තිබිය යුතුය.
- සෑම පාර්ශ්වයකටම මහාද්වීපික රාක්කය සහ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) මෙන්ම ඉහත සඳහන් මායිමේ තම පැත්තට අයත් වන ජීවමාන හෝ අජීවී වේවා, ඔවුන්ගේ සම්පත් කෙරෙහි ස්වෛරී අයිතිවාසිකම් සහ සුවිශේෂී අධිකරණ බලය තිබිය යුතුය.
- සෑම පාර්ශවයක්ම තම නීති හා රෙගුලාසි සහ ජාත්‍යන්තර නීතියේ නීතිරීතිවලට අනුකූලව තම භෞමික මුහුද සහ සුවිශේෂී ආර්ථික කලාපය හරහා යාත්‍රා කිරීමේ අයිතිවාසිකම්වලට ගරු කළ යුතුය.
මතභේදය තව දුරටත්
ඉන්දීය මධ්‍යම ආණ්ඩුව කච්චතිව් කෙරෙහි ඇති තම බැඳීම ගිවිසුමක් මඟින් අතහැරීමට පියවර ගත්ත ද තමිල්නාඩුව තව දුරටත් (1974 දී මෙන්) මෙම ගිවිසුම පිළිගැනීමට සූදානම් නොවීය. ඊට බලපෑ හේතු අතර තමිල්නාඩු ධීවරයින්ගේ බලපෑම ප්‍රමුඛ බව ඉන්දීය විශේෂඥයින්ගේ මතයයි. Katchatheevu Island: Location, History & India-Sri Lanka Dispute නම් ලිපියක Rahul Puri (Director & Mentor) නම් ඉන්දීය විද්වතා පෙන්වා දෙන්නේ ‘තමිල්නාඩු ධීවර ගැටලුව කච්චතිව්හි දේශපාලනික වශයෙන් වඩාත් සංවේදී අංගය’ බවයි. ඔහු තම තර්කය සනාථ කිරීම සඳහා පහත දැක්වෙන කරුණු කිහිපය උපුටා දක්වයි.
- කච්චතිව් සාම්ප්‍රදායික ධීවර ස්ථානයක් – තමිල්නාඩු ධීවරයින් පරම්පරා ගණනාවක් තිස්සේ කච්චතිව් අවට මුහුදේ මසුන් ඇල්ලූහ.
- හොඳම ධීවර ප්‍රදේශය – පෝක් සමුද්‍ර සන්ධියේ ධීවර කටයුතු සඳහා පොහොසත් භූමි ප්‍රමාණයක් ඇති අතර කච්චතිව් අවට ප්‍රදේශය විශේෂයෙන් ඵලදායී වේ.
- බිම වියළීම – ධීවරයින් තම දැල් වියළා ගැනීමට සහ විවේක ගැනීමට දිවයින භාවිතා කළහ.
- ආගමික පිළිවෙත් – වාර්ෂික ශාන්ත අන්තෝනි මංගල්‍යය ප්‍රධාන දෙමළ-සිංහල රැස්වීමක් විය.
- ජීවනෝපාය අහිමි වීම- කච්චතව් අත්හැරීමෙන් පසු, දෙමළ ධීවරයින්ට මෙම බිම්වලට ප්‍රවේශය අහිමි විය.
පසුගිය සිවිල් යුධ සමයේ ආරක්ෂ ගැටලු හේතුවෙන් කච්චතිව් ද ඇතුළු උතුරු මුහුදේ ධීවර කටයුතු සම්බන්ධයෙන් දකුණේ ආණ්ඩුවේ හෝ දකුණේ ජනතාවගේ මැදිහත් වීමක් හෝ අවධානයක් යොමු නොවූ බව ද 2009 වර්ෂයේ දී යුද්ධය අවසන් වීමෙන් පසුව උතුරු මුහුදේ ධීවර කටයුතු සහ කච්චතිව් වැනි දූපත් සම්බන්ධයෙන් යළි අවධානය යොමු විය.
මෙහි දී, පශ්චාත් යුධ සමයේ තමිල්නාඩු ධීවරයින් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ කරන අනවසර ධීවර කටයුතු දැඩිව පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාකිරීම සහ අනවසර ධීවරයින් අත්අඩංගුවට ගැනීම් අඛණ්ඩව සිදු කිරීම තමිල්නාඩු ධීවරයින්ගේ දැඩි විරෝධයට හේතු වූ අතර එම බලපෑම හමුවේ එවකට තමිල්නාඩු මහ ඇමැතිවරිය වශයෙන් කටයුතු කළ ජයලලිතා ජෙයරාම් විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට ද පියවර ගත්තා ය.
තමිල්නාඩුවේ චෝදනා
තමිල්නාඩු ධීවරයින්ගේ ගැටලු සහ කච්චතිව් දූපත යළි ලබා ගැනීම තමිල්නාඩු දේශපාලනයේ ජනප්‍රිය මැතිවරණ පොරොන්දුවක් බව උතුරේ ප්‍රබල දේශපාලනඥයෙකු සහ හිටපු ධීවර අමාත්‍යවරයෙකු ද වන ඩග්ලස් දේවානන්දාගේ අදහස විය. ඔහු ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු සමයේ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ වෙබ් අඩවියට මෙසේ පවසා තිබුණේය, “1976 ගිවිසුමට අනුව කච්චතිව් දුපතේ අයිතිය අපට ලැබුණ ද එහි 80% මත්ස්‍ය අස්වැන්න ලබා ගත හැකි මුහුදු තීරය අපට අහිමි වු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි. මෑතකදී තමිල්නාඩු ධීවර සමුළුවේ දී කච්චතිව් නැවත ලබා ගැනිමට කටයුතු කරන බව තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාර්ලින් මහතා විසින් දැක්වු අදහස් පිළිබද මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසිය. තව දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියාවේ මැතිවරණ පවත්වන සෑම අවස්ථාවකදිම කච්චතිව් දුපත නැවත ලබා ගැනිම පිළිබදව සාකච්ඡා කිරිම සාමාන්‍යය මාතෘකාවක් වී ඇති බවයි”.
ඩග්ලස් දේවානන්දාගේ තර්කය පැහැදිලිය. 1974 දී තමිල්නාඩු මහ ඇමැති කරුණානිධිගේ සිට ඔහුගේ දේශපාලන ප්‍රතිවාදිනිය වන ජයලලිතා ජයරාම් ද, පසුව කරුණානිධිගේ අනුප්‍රාප්තික (පුත්‍රයා) ස්ටාලින් ද උතුරේ ධීවර සූරාකෑම සාධාරණීකරණය කර ගැනීමට සහ තමිල්නාඩුවේ ධීවර ඡන්ද ආකර්ශනය කර ගැනීමට ‘කච්චතිව් යළි පවරා ගැනීමට’ දේශපාලන ඇමක් ලෙස යොදා ගත්හ. තමිල්නාඩුවේ වත්මන් මහ ඇමැති තලපති විජේ ද සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී ‘කච්චතිව් ඇම’ දැම්මේය.
කච්චතිව් යළි පවරා ගත හැකි ද ?
කරුණානිධිගේ සිට තලපති විජේ දක්වා කච්චතිව් යළි පවරා ගැනීමක් ගැන කතා කරන අතර ඔවුහු එම තර්කය සනාථ කිරීමට පහත සඳහන් තර්ක ඉදිරිපත් කරති. මේ සම්බන්ධයෙන් Rahul Puri නම් ඉන්දීය විද්වතා පහත සඳහන් කරුණු ඉදිරිපත් කරයි.
- 1974 ගිවිසුම අත්සන් කළේ විධායකය විසිනි.
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත වී නැත.
- තර්කය වූයේ කච්චතිව්හි තත්ත්වය මතභේදාත්මක බවයි (පැහැදිලිවම ඉන්දියානු නොවේ), එබැවින් අත්හැරීම යනු සීමා ආරවුලක විසඳුමක් පමණක් වන අතර ඉන්දියානු භූමිය මාරු කිරීමක් නොවේ.
කච්චතිව් නැවත ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ගොනු කර ඇත. 2026 මුල් භාගය වන විට දිවයින ආපසු ලබා දීමට අධිකරණය නියෝග කර නැති අතර අධිකරණය ඓතිහාසික හා දේශපාලනික මානයන් පිළිගෙන ඇත.
තමිල්නාඩුවට ප්‍රසිද්ධියේ අනුකම්පා කළ ද ඉන්දීය මධ්‍යම රජයන් කච්චතිව් නැවත ලබා ගැනීමට උනන්දු නොවන හේතු කිහිපයක් Rahul Puri උපුටා දක්වයි. ඒවා අතර, වසර 50ක් පැරණි ජාත්‍යන්තර ගිවිසුමක් නැවත විවෘත කිරීමේ දුෂ්කරතාව, ශ්‍රී ලංකාව සමඟ උපායමාර්ගික සම්බන්ධතාවය ව්‍යවස්ථාමය/නීතිමය සංකූලතා ප්‍රධාන තැනක් ගන්නා බව ඔහු කියයි.
මීට අමතරව කච්චතිව් නැවත ලබා ගැනීමට ඉන්දියාව බලපෑම් නොකරන තවත් හේතු කිහිපයක් ද Rahul Puri සඳහන් කරයි. ඒවා අතර,
- උපායමාර්ගික හවුල්කාරිත්වය – චීන බලපෑමට එරෙහිව ඉන්දියාවට ශ්‍රී ලංකාවේ සහයෝගීතාවය අවශ්‍යයි.
- දෙමළ ජනවාර්ගික සංවේදීතාවන් – ගැටලුව නැවත විවෘත කිරීම ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට හානිකර ලෙස බලපෑ හැකිය.
- නීතිමය සංකූලතා – වසර 50ක් පැරණි ගිවිසුමක් ආපසු හැරවීම රාජ්‍ය තාන්ත්‍රිකව ඉතා අපහසුය.
- ප්‍රායෝගික සීමාවන් – දිවයින ආපසු ලබා දීමෙන් පවා ධීවර ගැටලු අනිවාර්යයෙන්ම විසඳෙන්නේ නැත.
මෙම පසුබිම තුළ ද අපට පෙනී යන්නේ කරුණානිධි, ජයලලිතා සහ ස්ටාලින් දේශපාලන ඇමක් ලෙස යොදා ගත් කච්චතිව් ඇම තලපති විජේ ද සිය බලය තහවුරු කර ගැනීමට යොදා ගත්ත ද කච්චතිව් යළි ඉන්දියාවට පවරා ගැනීමට තමිල්නාඩු පාලනයට කිසිම ආකාරය හැකියාවක් නැති බවයි.
මේ සම්බන්ධයෙන් මෙම ලේඛකයා සමඟ අදහස් දැක්වූ දමිළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් අවධාරණය කළ ආකාරයට ශ්‍රී ලංකාව කළ යුත්තේ දශක පහක් පැරණි කතාවක් යළි යළි තළු මැරීම නොව තමිල්නාඩුවේ ආර්ථික සංවර්ධනය සමඟ ඵලදායී සහයෝගයක් ඇති කරගෙන විවෘත මනසින් කටයුතු කිරීම ය.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 මැයි 17 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.











