යුද්ධය අවසන් කළ මැයි මාසෙම, ප්‍රභාකරන් මරා දැමූ මැයි මාසයේ ම මහින්ද ජනාධිපතිතුමාව මේ ආකාරයෙන් කැඳවන්නේ පැහැදිලිවම මේ ආණ්ඩුව කොටි ඩයස්පෝරාවට ලබා දුන්න පොරොන්දුවක් ඉටුකරන්න කියන දේ ඉතාම පැහැදිලියි. ඒ ගැන සැකයක් හිතන්නවත් දෙයක් නැහැ. මොකද මැයි මාසේ ප්‍රභාකරන් මැරුව පළිය අනුර කුමාර ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් ගන්න වගේ හදන්නේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) දිනයේ දී අනිවාර්යයෙන්ම ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිෂමට පැමිණෙන බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පැවසුවේය.
ඊයේ (11) කොළඹ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ ද ප්‍රකාශ කළේය, “අපි මේ වන විට තීරණය කරලා තිබෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට අල්ලස් කොමිෂම හමුවට යනවා කියලා. එතුමා ප්‍රශ්නවලින් පළා යන කෙනෙක් නෙමෙයි.
නමුත් මෙහි දී සලකා බැලිය යුතු යම් යම් නීතිමය කාරණා තිබෙනවා. අද සවස මේ සම්බන්ධයෙන් පැවැත් වෙන සාකච්ඡාවක දී නීතිඥ කණ්ඩායමක් විසින් කරුණු සලකා බලනවා. නමුත් දැනට අපේ තීරණයේ කිසිම වෙනසක් වෙලා නැහැ.
හෙට (12) උදෑසන 09.00ට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස මහින්ද රාජපක්ෂ මහතාට නියම කර තිබෙන බව ද මනෝජ් ගමගේ මහතා පැවසුවේය.
“මිය ගිය කපිල චන්ද්‍රසේන මහත්මයාගේ පාපොච්චාරණයක් උපයෝගී කරගෙන තමයි (අපි දන්නා තොරතුරු අනුව) මේ කැඳවීම කරන්නේ. නමුත් එම පාපොච්චාරණය ඔහු ලබා බලෙන් ලබා එකක් කියලා ඔහු මිය යාමට පෙර දිවුරුම් ප්‍රකාශයකින් අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙනවා.
අධිකරණට ඔහු ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේ ඉතාම පැහැදිලිව තිබෙනවා එම ප්‍රකාශය බලෙන් ලබා ගත්ත පාපොච්චාරණයක් කියලා. අල්ලස් කොමිෂම මහින්ද රාජපක්ෂ මහතා කැඳවන්නේ එම පාපොච්චාරණයේ කරුණු පදනම් කරගෙන නම් ඒක බරපතළ තත්ත්වයක්. මොකද අධිකරණය මේ සම්බන්ධයෙන් විනිශ්චයක් ලබාදීමට නියමිතව තිබෙනවා. චූදිත පාර්ශ්වය විසින් අධිකරණයට මේ කරුණ යොමු කරලා තිබෙනවා.
එසේ තිබියදීත් අල්ලස් කොමිෂමේ නිලධාරීන් ඒ නීති විරෝධී පාපොච්චාරණය පදනම් කරගෙන නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ කැඳවන්‌නේ ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අපි ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒකට හේතුව තමයි, අපි දන්නවා මියගිය කපිල චන්ද්‍රස්න මහත්මයා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ සම්බන්ධයෙන් පැහැදිලිව නමින් චෝදනා එල්ල කරලා තිබෙනවා.
එවැනි තත්ත්වයක් තිබිය දී, එම පාපොච්චාරණය පදනම් කරගෙන නම් මේ ප්‍රකාශය ගන්න නියමිත වෙලා තිබෙන්නේ, ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තක් ලෙස අපි දකිනවා. මොකද දැනටමත් මේ පාපොච්චාරණය බලෙන්, තර්ජනය කරලා කපිල චන්ද්‍රසේන මහත්මයා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තිබෙනවා” මනෝජ් ගමගේ මහතා පැවසුවේය.
හෙට අල්ලස් කොමිෂම ඉදිරියට විශාල ජනතාවක් පැමිණේ දැයි මාධ්‍ය කළ විමසීමට පිළිතුරු දෙමින් මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන විශාල ජනතාවක් රට තුළ සිටින බවත් ඔවුන් හෙට අල්ලස් කොමිෂම ඉදිරියට පැමිණීම තමන්ට පාලනය කළ නොහැකි බවත්ය.
‘එය කිසිසේත් විමර්ශන කටයුතුවලට බාධාවක් නොවෙයි” ඔහු දැඩිව අවධාරණය කළේය.
“මේ රටේ තිස් අවුරුදු යුද්ධය අවසන් කළ නායකයාගෙන් මේ ආකාරයෙන් දේශපාලනිකව පිළිගන්න යම් යම් ක්‍රියාදාමයන් කරන විට මේ රටේ ජනතාව ඉවසන්නේ නැහැ. මේ මාළිමා ආණ්ඩුව තමන්ගේ අවසන් හුස්ම හෙළන්න කරන අවසාන පළිගැනීම මේක වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි සාමාන්‍ය කතාවක් තියෙනවා මිනිහෙක් මැරෙන්න ළං වුණාම ඒ මිනිහා මරු විකල්ලෙන් කරන්න පුළුවන් හැම දේම කරනවා, මේකත් ඒ වගේ. මාළිමාව ආණ්ඩුවේ අවසානය ළංවෙන කොට, ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන කොට මහින්ද ජනාධිපතිතුමාට මේ කරන කරදරය මේ රටේ ජනතාව ඉවසන එකක් නැහැ. ඒක අපි පැහැදිලිව කියන්න කැමැතියි. ආණ්ඩුවේ සුදු කොඩිය තමයි ආණ්ඩුව විසින්ම මේ වනා ගන්නේ.
එතුමාට සෞඛ්‍ය ගැටලු තිබෙනවා ද ?
‘එතුමාගේ වයසත් එක්ක යම් යම් සෞඛ්‍ය ගැටලු තිබෙනවා” මාධ්‍ය කළ විමසීමට පිළිතුරු වශයෙන් නීතිඥ මනෝජ් ගමගේ කීවේය.
“එසේ තිබිය දී, යුද්ධය අවසන් කළ මාසේම එතුමාව මේ කැඳවන්නේ ඇයි කියලා ඔ්නෑම මෝඩයෙකුට තේරෙණවා. මේ මාළිමාව ආණ්ඩුව කොටි ඩයස්පෝරාවෙන් සල්ලි අරගෙන බලයට ආවා කියලා පැහැදිලි චෝදනා තිබෙනවා. අපි මේ රටේ ජනතාවට කියන්න කැමැතියි, යුද්ධය අවසන් කළ මැයි මාසෙම, ප්‍රභාකරන් මරා දැමූ මැයි මාසයේ ම මහින්ද ජනාධිපතිතුමාව මේ ආකාරයෙන් කැඳවන්නේ පැහැදිලිවම මේ ආණ්ඩුව කොටි ඩයස්පෝරාවට ලබා දුන්න පොරොන්දුවක් ඉටුකරන්න කියන දේ ඉතාම පැහැදිලියි. ඒ ගැන සැකයක් හිතන්නවත් දෙයක් නැහැ. මොකද මැයි මාසේ ප්‍රභාකරන් මැරුව පළිය අනුර කුමාර ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් ගන්න වගේ හදන්නේ” මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශ, නීතිඥ මනෝජ් ගමගේ පැවසුවේය.













