මෙරට රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ පැවති මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයෙන් පසු මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය.
මෙහිදී මාලදිවයින් ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීම පිළිබඳව කෘතඥතාව පළ කළේය.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 61ක් වසරක් සපිරෙන අවස්ථාවේ සිදු කෙරෙන මොහොමඩ් මුයිසු මහතාගේ ශ්‍රී ලංකා සංචාරය මගින් දෙරට අතර ශක්තිමත් හවුල්කාරිත්වය, විශ්වාසය සහ මිත්‍රත්වය පිළිබිඹු කෙරෙන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදි දෙරට අතර සබඳතාවල නව හැරවුමක් සනිටුහන් කෙරෙනු ඇති බවටද විශ්වාසය පළ කළේය.
දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිවන අයුරින් ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා ඇතුළු බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සහ විවිධාංගීකරණය කිරීමට ඇති ක්‍රම පිළිබඳව නායකයෝ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
ඒ අනුව සංචාරක ප්‍රවර්ධනය, අධ්‍යාපන සහයෝගීතාව, තරුණ හා ක්‍රීඩා ක්ෂේත්‍රය, ඉන්දියානු සාගර කලාපයේ ධීවර කර්මාන්තය ආශ්‍රිත දෙරට මුහුණ දෙන අභියෝග, අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය, ආරක්ෂක පුහුණු කිරීම් සහ ආරක්ෂක අංශයේ සහයෝගීතාව පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (යුරෝපය, උතුරු ඇමරිකාව, නැගෙනහිර ආසියාව සහ ඕෂනියාව, අග්නිදිග ආසියාව සහ මධ්‍යම ආසියාව, දකුණු ආසියාව, මැද පෙරදිග සහ නීති) එම්. ආර්. කේ ලෙනගල, විදේශ කටයුතු, මාලදිවයින්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් රිස්වි හසන් සහ විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (දකුණු ආසියානු සහ සාර්ක්) මහේෂා ජයවර්ධන යන යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
මාලදිවයින් රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය ඉර්තිෂාම් ආදම් ( Iruthisham Adam), ආර්ථික සංවර්ධන, ප්‍රවාහන සහ වෙළඳ අමාත්‍ය මොහොමඩ් සයීඩ් (Mohamed Saeed), ධීවර, කෘෂිකර්ම සහ සාගර සම්පත් අමාත්‍ය අහ්මඩ් ෂියාම් (Ahmed Shiyam), රාජ්‍ය ආරක්ෂක, කම්කරු සහ තාක්ෂණ අමාත්‍යඅලි ඉහුසාන් (Ali Ihusaan), ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අබ්දුල්ලා ෆයාස් ( Abdulla Fayaz), විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති ප්‍රධාන ලේකම් මොහොමඩ් නසීර් ( Mohamed Naseer), රජයේ ප්‍රධාන ප්‍රකාශක මොහොමඩ් හුසේන් ෂරීෆ්(Mohamed Hussain Shareef), ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාද් (Masood Imad), විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සහ ප්‍රොටොකෝල් ප්‍රධානී මොහොමඩ් ෂහුදි (Mohamed Shahudy) , ජනාධිපති නියෝජ්‍ය උප ලේකම් මොහොමඩ් හසාන් (Mohamed Hassaan), ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක ඉස්මයිල් මම්ඩූ (Ismail Mamdhooh) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.















