ඔබට යම් අයෙකු නිතර නිතර Calls ලබාදී ඔබව හිංසනයට පත් කරයි නම් හෝ දිගින් දිගටම Messages යොමු කරමින් හිංසනයට පත් කරයි නම්, ඒ සදහා ඔබට නීත්‍යානුකූලව පියවර ගත හැකිය. මේ සදහා ප්‍රතිපාදන සපයා ඇත්තේ 1992 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ, සංශෝධිත 2024 අංක 39 දරන පනතේ 32 වන වගන්තිය තුය එහි සදහන් ආකාරයට නම්,
” ප්‍රධාන ප්‍රඥප්තියේ 59 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ.
(1) එහි (1) වන උපවගන්තිය ඉවත් කර, ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්,
(1) යම් විදුලි සංදේශ නිලධරයකුට හෝ යම් තැනැත්තකුට පීඩාවක්, හිරිහැරයක් හෝ අනවශ්‍ය අවුල් සහගත බවක් ඇති කිරීමේ අරමුණු ඇතිව සාධාරණ හේතුවක් නොමැතිව,
(අ) දුරකථනයක් භාවිතයෙන් නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලබා ගන්නා හෝ පණිවුඩ යවන හෝ සම්ප්රේෂණය කරන හෝ
(ආ) වෙනත් ග්‍රාහකයන්ගේ දුරකථන අංක ප්‍රසිද්ධ කරන, යවන හෝ සම්ප්රේෂණය කරන,
සැම තැනැත්තකුම වරදක් සිදු කරන අතර, වරදකරු කරනු ලැබීමේ දී රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට සහ එකී දඩය ගෙවීම පැහැර හැරීමේ දී, මාස හයකට නොවැඩි කාල සීමාවක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ යටත් විය යුතුය,
(2) වන උපවගන්තියේ එවැනි ඇමතුමක් කිරීමට ඉඩදීම ප්‍රතික්ෂේප කිරීම හෝ යන වචන වෙනුවට එවැනි ඇමතුමක් කිරීමට ඉඩදීම ප්‍රතික්ෂේප කිරීම හෝ එකී ඇමතුම සිදු කරන ලද්දේ කුමන දුරකථන සම්බන්ධතාවක් හරහා ද එම දුරකථන සම්බන්ධතාව විසන්ධි කිරීමට කටයුතු කිරීම හෝ යන වචන ආදේශ කිරීමෙන්, ” වේ.
ඒ අනුව පැහැදිලි ලෙසම පෙනී යන්නේ, කරදරකාරී දුරකථන ඇමතුම් හා පණිවුඩ වලට එරෙහිව ඉහත ප්‍රතිපාදන ප්‍රකාරව ක්‍රියාකල හැකි බවය. එසේම අප බොහෝවිට දැක ඇති සිදුවීමක් වන්නේ, ඇතැම් අයවළුන්ගේ දුරකථන අංක සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ක්‍රමවේද ඔස්සේ අවසරයකින් තොරව, අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් ප්‍රසිද්ධ කරනු ලැබීම හා ඉන් අදාල පාර්ශවයන් පීඩාවට පත් කිරීමය. ඒ සදහාද ඉහත ප්‍රතිපාදන යටතේ එනම්, 32 (1) (ආ) උපවගන්තිය යටතේ අවශ්‍ය නෛතික පියවර ගත හැකිය.
- නීතීඥ ඩිලාන් කුමාර, – පොලිස් පරීක්ෂක,
- ස්ථානාධිපති/ නඩු මෙහෙයුම් අංශය,
- පරිගණක අපරාධ විමර්ශන ඒකකය,
- අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව.
මූලාශ්‍රය – srilanka police face book page













