අන්තර් සමාජ කාන්තා එක්දින තරගාවලිය ‘ග්වෙන් හෙරත් අනුස්මරණ කුසලාන‘ ලෙස නම් කරයි

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ආරම්භක හා සංවර්ධන කටයුතු සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් අභාවප්‍රාප්ත ග්වෙන් හෙරත් මහත්මියව අනුස්මරණය කිරීම සඳහා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විශේෂ තීරණයක් ගෙන ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ ආරම්භක සභාපතිනිය වූ ග්වෙන් හෙරත් මහත්මිය සිහි කිරීම සඳහා පැවැත්වෙන “අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින තරගාවලිය”, මින් ඉදිරියට “ග්වෙන් හෙරත් අනුස්මරණ කුසලානය” ලෙස නම් කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමය 1997 වසරේදී ආරම්භ වූ අතර, එහි ආරම්භක සභාපතිනිය ලෙස කටයුතු කළ ග්වෙන් හෙරත් මහත්මිය, රටේ කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රය ආරම්භ කිරීම හා ශක්තිමත් කිරීම සඳහා මූලික හා වැදගත් භූමිකාවක් ඉටු කළාය. ඇයගේ දීර්ඝකාලීන සේවය අගයමින් මෙම තීරණය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මෙම තීරණය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු ලේකම් බන්දුල දිසානායක මහතා සඳහන් කර සිටියේ, “කාන්තා ක්‍රිකට් සඳහා අඩිතාලම දැමීමේදී ග්වෙන් හෙරත් මහත්මිය ඉටු කළ වැදගත් කාර්යභාරය ක්‍රිකට් ක්ෂේත්‍රය විසින් හොඳින් සිහිපත් කරනවා. ඇයට ගෞරවයක් වශයෙන් මෙම තරගාවලිය ඇගේ නමින් නම් කිරීමෙන් ඇගේ උරුමය අනාගත පරපුර සඳහා ආරක්ෂා කිරීම අපගේ අරමුණයි“ යනුවෙන් සඳහන් කර සිටියේය.

මෙම මුලපිරීම සනිටුහන් කරමින්, ග්වෙන් හෙරත් මහත්මියගේ පවුලේ සාමාජිකයින් විසින් අනුස්මරණ කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් පරිත්‍යාග කරන ලදී. මෙම කුසලානය ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශූරියන්ට පිරිනැමීමට නියමිතය.

කුසලානය භාරදීමේ අවස්ථාව සඳහා ග්වෙන් හෙරත් මහත්මියගේ දියණියන් වන ෂමරා හෙරත් සහ පර්වීන් හෙරත්, ඇගේ පුත් අවන්ක හෙරත් ඇතුළු පවුලේ සාමාජිකයෝ සහභාගී වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූලස්ථානයේ පැවැති මෙම චාම් උත්සවය සඳහා ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා, ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා, අලෙවිකරණ අංශ ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූ අතර, ග්වෙන් හෙරත් මහත්මියගේ පවුලේ ආරාධනය අනුව සම්භාවනීය අමුත්තෙකු ලෙස චන්ද්‍ර ෂාෆ්ටර් මහතාද සහභාගී විය.

Source:srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website