අපි හිතා ගෙන හිටියේ මේ ආණ්ඩුවේ අවංකම මිනිහා ලාල් කාන්ත කියලා – හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා

මුලින්ම කියන්න ඕනෑ ජනතාවට දැන් සියල්ල වටහා ගෙන ඉවරයි. ආයි කාලා බලන්න දෙයක් නැහැ. ජනාධිපතිවරයා ප්‍රමුඛ මුළු ආණ්ඩුවෙම ගල් අඟුරු වල දැලි තැවරිලා ඉවරයි. කොච්චර හෝදන්න හැදුවත් මේ ගල් අඟුරු පැල්ලම් යන්නේ නැහැ. දැන්, ප්‍රශ්නයට එමු, මේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා රාජ්‍ය පාලනයේ දී වගේම කළමනාකරණයේ ද අදක්ෂයි, ඒ සම්බන්ධයෙන් කිසිම හැකියාවක් නැහැ. අද ආණ්ඩුව සහ ජනතාව මුහුණ දෙන බොහෝ ගැටලු වලට පදනම මේ කළමනාකරණ නොහැකියා බව පැහැදිලියි. අනෙක් කාරණය, මේ ආණ්ඩුව අන්ත දූෂිතයි. ඒ දූෂිතයින්ගේ ක්‍රියාකාරීත්වය තමයි ඔබ සඳහන් කළ සහ කන්ටේනර් 323ක් වරායෙන් පැන්වීම වාගේ කුප්‍රකට සිදුවීම් හරහා එළියට එන්නේ. දූෂණයට මුල් තැන දෙන, රාජ්‍ය බලය අවභාවිතා කරලා තමන්ට සහ තමන්ගේ සහචරයින්ට එල්ල වෙන චෝදනා වලින් ගැළවීමට තැත් කරන කල්ලියක් මේ ආණ්ඩුව තුළ සිටිනවා. අවසාන වශයෙන් දූෂණය පිටුදැකීමට ජනවරම ලබා ගත් ආණ්ඩුවක් දූෂණයේ යෙදෙන සහ දූෂිතයින්ට උපකාර කරන, රැකවරණ දෙන ආණ්ඩුවක් බවට පත්ව තිබෙනවා.

මාළිමාව ආණ්ඩුව විසින් බලශක්ති ක්ෂේත්‍රය තුළ ඇති කර තිබෙන අර්බුදයෙන් වැඩියෙන්ම වාසි ගන්නේ ඩීසල් මාෆියාව. අනුර කුමාර දිසානායක කියන විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඩීසල් මාෆියාවට එරෙහිව දීර්ඝ කාලයක් කටයුතු කළා. නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව විසින් නිර්මාණය කළ බලශක්ති අර්බුදයෙන් වැඩිම වාසි ගන්නෙත් ඩීසල් මාෆියාවයි. මේවා දෛවයේ සරදම් කියලා බැහැර කරන්න බැහැ. ඒ වගේම ගල් අඟුරු සැපයීම කියන්නේ මේ රටේ දැවැන්තම ටෙන්ඩරය. අද ඒ ටෙන්ඩරයත් ජාවාරම්කාරයින්, දූෂිතයින් අතට පත්ව තිබෙනවා. ඒක ඔවුන්ගේ කෙළි බඩුවක් බවට පත්ව තිබෙනවා. අප්‍රකට, ලියාපදිංචියක් නැති, දූෂණ සම්බන්ධයෙන් නම් දැරූ සමාගමක් සහ රට තුළ දූෂිතයින්, වංචනිකයින් ලෙස නම් දැරූ සමාගමක් ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය අත්පත් කර ගැනීම නිසා තවත් විනාශයක් සිදුවෙනවා. කාටලයන් නැති කරනවා කියලා ජනාධිපතිවරයා කිව්වට කාටලයන් තව දුරටත් ශක්තිමත් වෙමින් සිටිනවා. ඒ වගේම ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා පසුව පිළිගත් ආකාරයටම ඔහුගේ හඬපටයක් පසුගිය දා ලීක් වුණා. ඒ හඬපටය අනුව ඔහු ගල් අඟුරු දූෂිතයින්ට සහාය වෙමින් හදිසි ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරයට අදාළ වංචනික ලේඛන සකස් කරන්න උපදෙස් දෙනවා. මේ සියල්ල තුළින් පැහැදිලි වෙන්නේ කාටයලයන් නැති කරනවා කියලා පොරොන්දු වෙමින් ජනවරමක් ලබා ගත්ත ආණ්ඩුව තව දුරටත් කාටලයන් පෝෂණය කරමින් කටයුතු කරන බවයි. මේ තත්ත්වය ඉතාම පැහැදිලිව ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ ජනවරමට පිටුපෑමක්.

 කරුණු කිහිපයක එකතුවක් මේ ඉල්ලා අස්වීමට හේතු වුණා. මුලින්ම අපි මේ ගැන පාර්ලිමේන්තුවේ දී කරුණු හෙළි කළා, ඊට පස්සේ පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට මහජන උපයෝගීතා කොමිෂම විසින් ලබා දුන් විස්තරාත්මක වාර්තාව මඟින් සිදු වී ඇති වංචාවේ ස්වභාවයක්, එයින් සිදු වෙන (නැව් 13ක් සඳහා) අවම වශයෙන් රුපියල් බිලියන 8.49ක පාඩුවත් ගැන පෙන්වා දුන්නා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විගණකාධිපති වාර්තාව මඟින් ඒ ක්‍රියාවලිය තුළ තිබෙන දෝෂ, සැපයුම්කරුවන් විසින් කළ දෝෂ, ඒ වගේම රජය පැත්තෙන් සිදු වුණ අඩුපාඩු තහවුරු කරමින්ම පෙන්වා දුන්නා. ඒ වගේම පාර්ලිමේන්තුවේ (පළමුව) තිබුණ කල් තැබීමේ විවාදයේ දී සහ ඊට පස්සේ තිබුණ විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදයේ දී අපි මේ කරුණු ඉතාම පැහැදිලිව පෙන්වා දුන්නා. නමුත් ආණ්ඩුව මේ කිසිවක් ගැන අවධානය යොමු කළේ නැහැ, විපක්ෂයට කන් දුන්නේ නැහැ. ඒ වෙනුවට විපක්ෂයට අවලාද කීම සහ තර්ජනය කිරීමෙන් මේ ක්‍රියාවලිය සාධාරණීකරණය කර ගැනීමට උත්සාහ කළා. අවසානයේ ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායකගේ කටහඬ සහිත හඬපටය ලීක් වුණා. ඔහු කූඨ ලේඛන සකස් කිරීමට උපදෙස් දුන්න ආකාරයට හෙළි වුණා. ආණ්ඩුවට තවත් තෝරා ගැනීමට විකල්පයක් නොතිබුණ නිසා විෂයභාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඉල්ලා අස් වුණා. ඉතාම පැහැදිලිව මේක ‘කැමැත්තෙන් කළ ඉල්ලා අස්වීමක්’ නෙමෙයි. මහජන කැරැල්ලක් ඇති වීමේ ඉඩකඩ නිසා තමයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඉල්ලා අස් වුණේ.

කිසිසේත්ම මේ ඉල්ලා අස්වීම ප්‍රමාණවත් නැහැ. ඒ හරහා වගවීම ඉටුවෙන්නේ නැහැ. මේක අපරාධමය වරදක්. ඒ නිසා මේ අපරාධමය වරද සම්බන්ධයෙන් කටයුතු කිරීමට අල්ලස් කොමිෂමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙනවා.

මේක සම්පූර්ණයෙන්ම දේශපාලන උපාය මාර්ගයක්. නමුත් රටේ අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම තිබෙන අල්ලස් කොමිෂමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ස්වාධීනව මේ පරීක්ෂණ කරගෙන යන්න පුළුවන්. ජනාධිපති කොමිෂමෙන් ඒකට කිසිම බාධාවක් නැහැ.

ජනාධිපතිවරයෙක්ට සුදුසු නොවන තරමේ පහළ තැනකට එදා ජනාධිපතිවරයා වැටුණා. ඒකෙන්ම පේනවා ජනාධිපතිවරයා සහ බලශක්ති අමාත්‍යවරයා අතර තිබෙන සමීප සබඳතාවය. ඇත්තටම අනුර කුමාර සහ පුණ්‍ය කුමාර කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක් කෙනෙක්. පුණ්‍ය කුමාරගේ වරද නිසා රටට බිලියන ගණනක පාඩුවක් සිදුවෙලා තිබිය දීත් ජනාධිපතිවරයා තමන්ගේ මිත්‍රයා ආරක්ෂා කිරීමට කටයුතු කළේ ඔවුන් දෙදෙනෙක් නොව එක් අයෙක් නිසා. මේ කොමිෂම දැම්මේ වරදකරුවන්ට දඬුවම් කරන්න නෙමෙයි, වරදකරුවන්ට සුදු හුණු ගාන්න, කාලය ගන්න, තවත් මාස හයකින් මේ අමාත්‍ය ධුරයම පුණ්‍ය කුමාරට ලබාදීමට තමයි අනුර කුමාරගේ ගජ මිතුරෙක් අනුර කරුණාතිලකටම මේ අමාත්‍යාංශයත් ලබා දුන්නේ. අනුර කරුණාතිලක කියන්නේ මෙවැනි විශාල අමාත්‍යාංශයක් භාර දෙන්න තරම් විශේෂ දක්ෂතා තිබෙන අමාත්‍යවරයෙක් නොවෙයි. ඔහුට මේක දුන්නේ පස්සේ යාළුවාව ගේන්න පහසු නිසයි.

මේ රටේ නීතියේ ආධිපත්‍ය පිළිබඳව මගේ දැඩි විශ්වාසයක් තිබෙනවා. මේ අති දැවැන්ත වංචාව හෙළිදරව් කළ අවස්ථාවේ දී අපව හෑල්ලුවට ලක් කළ, අපහසුතාවට ලක් කළ අයට මේ වන විට නිසි පිළිතුරු ලැබී තිබෙනවා. ඒ වගේම මේ දැවැන්ත වංචාවට සම්බන්ධ සියලු දෙනාම නීතිය ඉදිරියට ගෙන එන බවට ජනතාවට සහතික වෙනවා.

ලෝකය පිළිගත් සම්ප්‍රදායක් තිබෙනවා සක්‍රීය සේවයේ යෙදී සිටින විනිසුරුවරුන් ජනාධිපති කොමිෂන් සභාවලට පත් නොකළ යුතුයි කියලා. එවැන්නක් සිදුවන්නේ නම් විධායකය එවැනි පියවරක් ගන්නේ අදාළ කොමිෂන් සභා විධායකයේ බළල් අතක් බවට පත්කර ගන්න කියලා පිළිගැනීමක් තිබෙනවා. එය ලෝකයේ නීති සාහිත්‍ය තුළ පිළිගත් දෙයක්. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ස්වාධීනව තැබිය යුතු බව තමයි ලෝකය පිළිගත්ත ශිෂ්ට සම්ප්‍රදාය. සංවරණය සහ තුලනය කියලා කියන්නේ මේ සංකල්පයටයි. එවැනි සම්ප්‍රදායක් සහ පිළිගැනිමක් තිබිය දීත් ධූර දරන විනිසුරුවරු මේ කොමිෂන් සභාවට පත් කිරීම යුක්තිය ඉටු කිරීමට බාධා කිරීමක් වගේම, මේ හරහා අදාළ විනිසුරුවරුන්ටත් විශාල අසාධාරණයක් වෙනවා. මේ විනිසුරුවරුන් ජනාධිපතිවරයාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීම ඇත්තෙන්ම කනගාටුදායක තත්ත්වයක්.

වසන්ත සමරසිංහ අමාත්‍යවරයාට එවැනි ප්‍රකාශයක් කිරීමට කිසිම හැකියාවක් නැහැ. ඒ වගේම විගණකාධිපති වාර්තාව කියන්නේ තනි පුද්ගලයෙක්ගේ වාර්තාවක් නෙමෙයි. මේක විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීයභාවයකින් සහ විෂය ප්‍රවීණත්වයකින් යුතු නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සම්පාදනය කළ අවසාන වාර්තාවක්. මේක විගණන විමසුමක් නොවෙයි, අවසාන වාර්තාවක්. බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව පැවැති විශ්වාසභංග විවාදයේ දී පවා ඔහු මේ විගණන වාර්තාවට කිසිම අභියෝගයක් කළේ නැහැ. ඒකට හේතුව තමයි, ඔහු දන්නවා ඔහුට ඒක කරන්න බැහැ කියලා. ඒ වගේම මෙහි තවත් බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. රජය විසින්ම විගණකාධිපති වාර්තා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උද්ගත වුණොත් බරපතළ තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ජනාධිපතිවරයා තමන්ගේ යාළුවෙක් මේ තනතුරට පත්කර ගැනීමට නොකළ දෙයක් නැහැ. ඔහු තමන්ගේ සහචරයෙක් විගණකාධිපති පුටුවට ගේන්න කළ හැකි සෑම දේම කළා. නමුත් විපක්ෂයේ සහ සිවිල් සමාජයේ බලපෑම හමුවේ ජනාධිපතිවරයාට පසුබැස යාමට සිදු වුණා. අද මෙවැනි තීරණාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් මෙවැනි වාර්තාවක් නිකුත් කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණේ විගණකාධිපති ධුරය ස්වාධීන තත්ත්වයක පවතින නිසා. මේ තත්ත්වය තුළ අදාළ විගණන වාර්තාව සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ද ප්‍රමුඛ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන චෝදනා අපි පිළිකුලෙන් යුතුව බැහැර කරනවා.

කෝප් කමිටුවේ වත්මන් සභාපතිවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන දැනුමක් නැති පුද්ගලයෙක් බව ඉතාම පැහැදිලියි. ඒ වගේම ඔහු ආණ්ඩුව කෙරෙහි දක්වන අධික පක්ෂපාතීත්වය නිසා මේ ගල් අඟුරු සුදු කරන්න කටයුතු කළා. ඔහු විගණන වාර්තාව එන්න කලින් පවා තමන්ගේ කල්ලියත් සමඟ නොරොච්චෝලේ බලාගාරයට ගිහින් ඉතාම සාවද්‍ය ප්‍රකාශ නිකුත් කළා. ඒ වගේම සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ දීත් ඔහු පූර්ව නිගමන මත සිට කතාවක් කළා. එවැනි සාවද්‍ය හා අතිෂය පක්ෂපාතී නිගමනයකට පැමිණි අයෙකුට විගණන වාර්තාවක් දෙස නිවැරදි දෘෂ්ටිකෝණයකින් බැලීමට හැකියාවක් නැහැ. මම හිතන්නේ ඔහු කෝප් කමිටුවේ සභාපති තනතුරට කිසිසේත් සුදුසු නැති පුද්ගලයෙක්.

අපි හිතා ගෙන හිටියේ මේ ආණ්ඩුවේ අවංකම මිනිහා, හොඳම මිනිහා ලාල් කාන්ත කියලා. ලාල් කාන්තත් මෙහෙම නම් ඉතිං ආණ්ඩුව ගැන කතා කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. ආණ්ඩුවේ හොඳම මිනිහා, අවංකම මිනිහා මෙහෙම නම් අනික් අය ගැන කවර කතා ද ?. දැන් මේ ආණ්ඩුවේ සුජාතාභාවය අවසන්. තව දුරටත් ජනතාව රවට්ටන්න මේ ආණ්ඩුවට බැහැ.

මහ මොළකරු සොයා ගැනීමට සහ කුමන්ත්‍රණකරුවන් හෙළි කිරීමට මේ ආණ්ඩුව විශාල වගකීමක් තිබෙනවා. ඒ සඳහා ජනාධිපති අනුර ප්‍රමුඛ මාළිමාව කතෝලික ජනතාවට පැහැදිලි පොරොන්දුවක් ලබා දුන්නා. ඒ නිසා තමයි ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී කතෝලික ජනතාවගෙන් බහුතරය අනුරට ඡන්දය දුන්නේ, මාළිමාවට ඡන්දය දුන්නේ. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා ගන්න සහ කුමන්ත්‍රණය හෙළිකරන්න ආණ්ඩුවට ජනවරමක් තිබෙනවා. නමුත් අද ආණ්ඩුවට ඒ කිසිවක් ගැන මතයක් හෝ වගකීමක් නැහැ. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කතෝලික ජනතාව දිගින් දිගටම රවටමින් ඉන්නවා. ඒ වගේම මහ මොළකරු කියලා එක එක නාට්‍ය රඟ දක්වනවා. පිල්ලේයාන්ව අල්ලගෙන ඔහුව සිරගත කළා. නමුත් ඔහුට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා වල පාස්කු ප්‍රහාරය ගැන එක අකුරක් නැහැ. දැන් තවත් ජවනිකාවක් තිබෙනවා. මේ ආණ්ඩුවට පාස්කු ප්‍රහාරය ගැන සොයන්න අවංක වුවමනාවක් නැහැ. ආණ්ඩුවට තියෙන්නේ ඉතාම පටු, අවස්ථාවාදී දේශපාලන වුවමනාවක්, සැලසුමක්. මේ පසුබිම තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාළිමාව ආණ්ඩුවෙන් කිසිම ආකාරයක සාධාරණ පරීක්ෂණයක් හෝ යුක්තියක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ ආණ්ඩුව කිසිමදාක ඒක කරන්නේ නැහැ.

මේ ආණ්ඩුවට කිසිම ආකාරයක නිර්මාණාත්මක චින්තනයක් හෝ වැඩපිළිවෙළක් නැහැ. ආණ්ඩුව කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් තබා ඇති ගිවිසුමට අනුව කටයුතු කිරීමම පමණයි. රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නිර්මාණශීලී අලුත් වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම හැර වෙන කිසිම දෙයක් මේ ආණ්ඩුව කළේ නැහැ, ඔවුන්ට ඒක කරන්නත් බැහැ. ඒ වගේම රටේ ආර්ථිකයේ සැලකිය යුතු ලෙස ස්ථාවරභාවයක් නැහැ. රුපියල දිගින් දිගටම බාල්දු වෙමින් තිබෙනවා. ආණ්ඩුව කරන්නේ බදු එකතු කරන එක පමණයි. ඒකත් මේ ආණ්ඩුවේ හැකියාව නිසා කළ දෙයක් නොවෙයි. අලුතින් රැකියා අවස්ථා, ආයෝජන කිසිවක් මේ ආණ්ඩුව යටතේ සිදුවෙන්නේ නැහැ. මේක එකතැන පල්වෙන රටක් බවට පත්ව තිබෙනවා.

බැංකු ධනවත් වෙලා ජනතාව දුප්පත් නම් වැඩක් නැහැ. බැංකු ලාභ ලබනවා කියන්නේ ජනතාව  සහ ව්‍යාපාරිකයින් අමාරුවේ වැටිලා ඉන්නේ කියන එක. ඔවුන් මේ ලාභ ලබන්නේ සල්ලි පොළියට දීලා, උකස් අරගෙන. ඒ හරහා කිසිම ආකාරයකින් රටේ සංවර්ධනය දැක ගන්න බැහැ. ඒ වගේම බදු ආදායම වැඩි වීමෙන් රටේ සංවර්ධනය මිනින්න බැහැ. ව්‍යාපාරිකයින් සහ කර්මාන්තකරුවන් සූරාකෑමෙන් ඔබ්බට මේ රටේ සංවර්ධනය, ආර්ථික සංවර්ධනයට කිසිම දෙයක් වෙන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website