ශ්‍රී ලංකා කාන්තා පිළට බංග්ලාදේශය හමුවේ තියුණු පරාජයක්

බංග්ලාදේශයේ තරග සංචාරය නිරත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් අද (20 දා) රාජ්සාහි පැවැති පළමු තරගයෙන්ම සත්කාරකයින් හමුවේ කඩුලු 3 ක පරාජයකට මුහුණ දුන්නේය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 206 ක ඉලක්කය කඩුලු 7 ක් පමණක් දැවී සාර්ථකව හඹා ගත් බංග්ලාදේශ කණ්ඩායම, තරගාවලිය 1-0 ලෙස පෙරමුණට පැමිණියේය.

ආබාධයක හේතුවෙන් නායිකා චමරි අතපත්තු මෙම තරගයට සහභාගි නොවූ අතර, කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හසිනි පෙරේරා වෙත පැවරුණි. කාසියේ වාසිය දිනාගත් ඇය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළාය. එහෙත් මැද පෙළ සහ පසුපෙළ පිතිකාරිණියන්ගේ සහයෝගය අඩු වීම හේතුවෙන්, නියමිත පන්දුවාර 50 අවසානයේදී ශ්‍රී ලංකාවට කඩුලු 9 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 205 ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී සත්කාරක බංග්ලාදේශ පිලේ පළමු කඩුලු 3 ම ලකුණු 34 ක් ඇතුළතදී බිඳ දමමින් සාර්ථක ආරම්භයක් ලබා දීමට මල්කි මදාරා, දෙව්මි විහංගා සහ නිමාෂා මීපගේ සමත්වූහ. එහෙත් සිව්වැනි සහ පස්වැනි කඩුලු සඳහා ශර්මින් අක්ටර් සමග සෝභනා මොස්ටරි සහ ෂෝර්නා අක්ටර් අතර පිළිවෙළින් ලකුණු 87 සහ 78 ක සම්බන්ධතා ගොඩනැගීමෙන් බංග්ලාදේශය ජයග්‍රාහී මාවතට පිවිසියේය.

මොස්ටරි ලකුණු 41 ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ අතර, පසුව ශර්මින් සමග එක් වූ ෂෝර්නා අක්ටර් (35) ඉනිම තවදුරටත් ශක්තිමත් කළාය.

ෂර්මින් අක්ටර්ගේ දැවී යෑමත් සමග එක් ලකුණකදී කඩුලු 4 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුවත්, ඒ වන විටත් ලබාගත යුතුව තිබුණේ ලකුණු 6 ක් පමණක්වීම නිසා, සටනකින් තොරව ඉලක්කය සපුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකාරිණියෝ සමත්වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දීමට හසිනි පෙරේරා සහ ඉමේෂා දුලානි දෙදෙනා සමත්වූහ. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 84 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැවූහ. පළමු කඩුල්ල ලෙස හසිනි පෙරේරා දැවී ගිය අතර ලකුණු පුවරුවට ලකුණු 04 ක් එකතු වන අතරවාරයේදී හර්ෂිතා සමරවික්‍රමද දැවී ගියාය.

ඉමේෂා දුලානි සමග එක් වූ හංසිමා කරුණාරත්න තෙවැනි කඩුල්ල සඳහා පන්දු 82 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර, දෙදෙනාම අර්ධ ශතක වාර්තා කළහ. මෙය ඉමේෂා දුලානිගේ සහ හංසිමා කරුණාරත්නගේ එක්දින ක්‍රිකට් දිවියේ පළමු අර්ධ ශතක වේ.

හසිනි සමග ඉනිම ඇරැමි ඉමේෂා පන්දු 77 කට මුහුණ දී හතරෙ පහර 6 ක් ද සමගින් ලකුණු 52 ක්ද හංසිමා කරුනාරත්න පන්දු 71 කට මුහුණ දෙමින් හතරේ පහර 6 ක් ද සමගින ලකුණු 54 ක් ද ලබා ගත්හ. ඒ හැරුණු විට මැද පෙලින් පැමිණි කවීෂා දිල්හාරි ලකුණු 30 සීමාවට අවතීර්ණවීම හැර පසු පෙළින් එතරම්ම දායකත්වයක් නොලැබිණ. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පිලේ අවසන් 6 වැනි කඩුල්ලේ සිට 9 වැනි කඩුල්ල දක්වා වූ කඩුලු 4 ම ලකුණු 30 කදී බිඳ වැටිණ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 205 යි – (ඉමේෂා දුලානි 52, හංසිමා කරුණාරත්න 54, කවීෂා දිල්හාරි 30, හසිනි පෙරේරා 27, කෞෂානි නුත්‍යාංගනා 18, හර්ෂිතා සමරවික්‍රම 02, නිලක්ෂිකා සිල්වා 02, දෙව්මි විහංගා 08, මල්කි මදාරා 02*, ඉනෝකා රණවීර 02, නිමාෂා පීපගේ 00*, රිටූ මෝනි 36/3, නහිඩා අක්ටර් 38/2, මරුෆා අක්ටර් 24/1, සුල්තානා කටුන් 40/1, රෙබෙයා ඛාන් 31/1, සොභනා මොස්ටරි 13/1)

බංග්ලාදේශ් කාන්තා කණ්ඩායම පන්දුවාර 48.2 3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 206 යි – (ශර්මින් අක්ටර් 86, නිගර් සුල්ටානා 13, සෝබනා මොස්ටරි 41, ෂොර්නා අක්ටර් 35, දෙව්මි විහංගා 43/3, මල්කි මදාරා 37/2, නිමාෂා පීමගේ 31/1, ඉනෝකා රණවීර 34/1)

source:srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website