ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැති යොවුන් කාන්තා කණ්ඩායම් අතර පන්දුවාර විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ සත්කාරක ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි තරගයෙන්ද ලකුණු 03ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රීඩිකාවෝ තරගාවලිය අපරාජිතව නිමාවට පත් කිරීමට අද (18 දා) පෙරවරුවේදී සමත්වූහ.
ශ්‍රී ලංකාව, එංගලන්ත සහ ඔස්ට්‍රේලියා යොවුන් කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැති මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරග 4 ම ජය ගනිමින් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්වීමට ද සමත්වූවේය. යොවුන් ක්‍රීඩිකාවන්ට අත්දැකීම් ලබා ගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය පැවැත්වෙන බැවින් ශූරියන් තෝරා ගැනීමක් සිදු නොකෙරෙනු ඇත.
ගෝල්ඩ් කෝස්ට් නුවර බිල් පිපේන් ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී ලද මෙම ජයග්‍රහණය සනිටුහන් වුයේ දෙරට අතර යොවුන් කාන්තා කණ්ඩායම් අතර තරග ඉතිහාසායේ ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමක් ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා පිලට එරෙහිව වාර්තා කරන ලද 8 වැනි විස්සයි-20 තරග ජයග්‍රහණය ලෙසිනි.
මීට පෙර මැලේසියාවේ පැවැති වයස අවුරුදු 19 න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති තරගයේදීද ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල ඔස්ට්‍රේලියානු යොවුන් බාලිකා පිල පරාජයට පත් කිරීමට සමත් විය. ඊට අමතරව ඉකුත් සැප්තැම්බර් මාසයේදී පැවැති ඔස්ට්‍රේලියානු බාලිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ පැවැති තරග 5 කින් සමන්විත තරගාවලිය 5-0 ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියේදී ද ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා පිල මුණ ගැසුණු අවස්ථා දෙකේදීම ඔවුන්ව පරාජයට පත් කිරීමට සමත්වූහ.
ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ නිරන්තර වර්ධනය සහ කණ්ඩායම් හැකියාවන් ඉහළ යාම පැහැදිලි කරනු ලබන අවස්ථාවක් ලෙසද හැඳින්විය හැක. මෙවැනි ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ක්‍රිකට් සංවර්ධන ගමන් මඟ ‘ක්‍රිකට් ගමට’ වැඩසටහනේ පුහුණු ව්‍යුහයන් හා ග්‍රාමීය මට්ටමින් සිදුකරනු ලබන දක්ෂතා ගවේෂණ වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙසද දැක්විය හැක. විශේෂයෙන්ම කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේදී නව පරපුරක් ගොඩනැගීමට ගත් උත්සාහයන් මේ ජයග්‍රහණය තුළින් ප්‍රකට වේ.
අඩු ලකුණු සංඛ්‍යාවන් මත ජයග්‍රහණය තීරණය වුණු මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම පන්දුවාර 19.4 කදී ලකුණු 99 කට සීමා වූ නමුත් ඉලක්කය හඹා ගිය සත්කාරක ඔස්ට්‍රේලියානු යොවුන් පිල පන්දුවාර 19.5 කදී ලකුණු 96 කට සීමා කරමින් මෙම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.
පන්දු යැවීමේදී කැපී පෙනුණු චමුදි ප්‍ර බෝධා පන්දුවාර 4 කදී ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ලූ අතර අසේනි තලලගුණේ, ශෂිනි ගිම්හානි සහ ලිමන්සා තිලකරත්න කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. පන්දුවට අමතරව පිත්තෙන්ද ලකුණු 35 ක් රැස් කරන ලද ලිමන්සා තිලකරත්න මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය. පන්දු 43 කට මුහුණ දුන් වමත් පිතිකාරිණී හතරේ පහර 2 ක් ද සමගින් ලකුණු 35 ක් රරස් කරගත්තේ ශ්‍රී ලංකා ඉනිම් 8 වැනි පිතිකාරිණිය ලෙසින් දැවී යමිනි.
ශ්‍රී ලංකා කාන්තා යොවුන් කණ්ඩායම පන්දුවාර 19.4 කදී සියලු දෙනා දැවී ලකුණු 99 යි – (ලිමන්සා තිලකරත්න 35, ප්‍රමුදි මෙත්සරා 21, ඉරා ආරේ 19/3, අමුරෝරා මාවර්ස් 15/2, මියා බාර්වික් 20/2)
ඔස්ට්‍රේලියානු කාන්තා යොවුන් කණ්ඩායම පන්දුවාර 19.5 කදී සියලු දෙනා දැවී ලකුණු 96 යි – (ඇලිසා ඩර්මොඩි 25, ශිලියා ජුලියන් 17, එමලි පවෙල් 15, චාර්ලි මක්ලෙනන් 17, චමුදි ප්‍ර බෝධා 22/3, අසේනි තලගුණේ 28/2, ශෂිනි ගිම්හානි 13/2, ලිමන්සා තිලකරත්න 17/2)
source:srilankacricket.lk
















