ජනපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ මල්වතු මහා විහාරය වෙත ගොස් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ, අස්ගිරි මහා විහාරය වෙත ගොස් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.
ජනපති මල්වතු මහා නාහිමිබැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු මහා විහාරය වෙත ගොස් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා ප්රමුඛ පිරිස වෙත සිය ආශිර්වාදය පළ කළහ. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනපති අස්ගිරි මහා නාහිමි බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගනී
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ අස්ගිරි මහා විහාරය වෙත ගොස් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
මෙහිදී අස්ගිරි මහා නාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ජනාධිපතිවරයා ප්රමුඛ පිරිස වෙත සිය ආශිර්වාදය පළ කළහ. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ බැහැදකි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.
උන්වහන්සේ වැඩ වසන මීරිගම, මිණිඔළුව, ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරය වෙත අද (15) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා මෙලෙස මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසීය.
උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය ආශිර්වාදය පළ කළහ.
පූජ්‍ය මකුලෑවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය විජේසිංහ, චමින්ද ලලිත් කුමාර , මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සුමින් මහින්දලාල් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.















