ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ වත්කම් සුජාතකරණය නාමල්ගේ දැඩි විවේචනයට

රජයේ දේශපාලනඥයින් සතුව ඇති වත්කම් “සමාජ ප්‍රාග්ධනය” ලෙසත් විපක්ෂ දේශපාලනඥයින්ගේ වත්කම් “සොරකම්” ලෙස ලේබල් කරන ද්විත්ව ප්‍රමිතියක් වත්මන් ආණ්ඩුව විසින් සමාජගත කරමින් සිටින බවට නාමල් රාජපක්ෂ මහතා රජයට චෝචනා කළේය. 

මේ ද්විත්ව ප්‍රමිතිය හරහා ආණ්ඩුවේ දේශපාලනඥයින් සතු වත්කම් සුජාතකරණය කිරීමට පුළුල් සමාජ මෙහෙයුමක් දියත්ව ඇති බව රාජපක්ෂ මහතා පැවසුවේය.

කැළණිය රජ මහා විහාරයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

නාමල් රාජපක්ෂ පැවසුවේ “සමාජ ප්‍රාග්ධනය” යන සංකල්පය තමන් දැනට අධ්‍යයනය කරමින් සිටින බවයි.

“ආණ්ඩුවේ කෙනෙකුට වත්කම් තිබේ නම් ඒවා  සමාජ ප්‍රාග්ධනය කියලා කියනවා. විපක්ෂයේ දේශපාලනඥයින් සතු වත්කම් සොරකම් කියලා කියනවා. මේ ප්‍රමිතිය හැදුවේ කොහොමද ?. මේක තනිකරම ආණ්ඩුවේ දේශපාලනඥයින් සතු වත්කම් සුජාකරණය කරන්න කරන උප්පරවැට්ටියක්” නාමල් රාජපක්ෂ පැවසුවේය.

විපක්ෂයේ දේශපාලනඥයින්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද අතීත චෝදනා බොහොමයක් ඔප්පු කර නොමැති බව ද ඔහු සඳහන් කළේය.

ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඇතුළුව වත්මන් රජයේ ගනුදෙනුවලට සම්බන්ධ අක්‍රමිකතා පිළිබඳව ඔහු තවදුරටත් චෝදනා කළ අතර, එවැනි තීරණවල මූල්‍යමය බර අවසානයේ ඉහළ යන විදුලිය හා ඉන්ධන පිරිවැය හරහා මහජනතාව මත පැටවෙන බව ද කියා සිටියේය.

දේශපාලන තීරණ මගින් මහජනතාව “සමාජ ව්‍යසනයන්ගෙන්” ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බව පැවසූ ඔහු, එසේ කිරීමට අපොහොසත් වීම දැනටමත් ආර්ථික අභියෝගවලට මුහුණ දෙන පුරවැසියන් මත අමතර පීඩනයක් ඇති කරන බවට අනතුරු ඇඟවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website