අනුර කුමාර සූත්‍රය අනුව පැහැදිලි කළා. අනුර කුමාර සූත්‍රය අනුව ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක් ඩොලර් එකකි වැඩි වෙන කොට ලංකාවේ ඉන්ධන ලීටරයක් රුපියල් දෙකකින් වැඩි වෙනවා. මේ සූත්‍රය මිල ඉහළ යාමට විතරයි. අඩු වෙන කොට මේ සූත්‍රය හොයා ගන්න බැරි වෙයි. අනුර සූත්‍රය අනුව කළ මේ මිල වැඩි කිරීම හරිනම් බොරතෙල් බැරල් එකක් ඩොලර් 500ක් විතර වෙන්න ඔ්නෑ. අපි හිතාගෙන හිටියේ ගෝඨාභය රාජපක්ෂ තමයි ‘හොඳට කළේ ‘කියලා. නමුත් දැන් අපට පේනවා අනුර කුමාර තමයි ‘හොඳටම….ම කරලා’ තියෙන්නේ කියලා.
මන්ත්‍රීතුමා, තෙල් පෝළිම්, QR Code, නිවසේ සිට වැඩ කිරීම අවුරුදු තුනක් ඇතුළත නැවත ඇවිත්. මේ ලෝකේ අවුලක් ද, ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවේ අවුලක් ද ?,
අනුර කුමාර දිසානායක මැතිතුමා අපි එක්ක විපක්ෂයේ ඉන්න කොට විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස කිව්ව කතායි, ජනාධිපතිවරයා ලෙස මේ අර්බුදයට මුහුණ දෙන විට කියන කතා දෙස බලන විට ‘අනුරට එරෙහිව අනුර’ කියලා මතක් වෙනවා. ඒ එක්කම, ඒ එක්කම ‘අනුර ෆේල්’ කියලා තේරෙණවා. ඒ කියන්නේ ඇත්තටම මේ ජනාධිපතිකම කරන්නේ අපිත් එක්ක අවුරුදු ගාණක් විපක්ෂයේ හිටිය අනුර කුමාර ද කියලා සැකයක් දැන් අපට තිබෙනවා. ඒ කියන්නේ ‘අනුර කුමාර සහෝදරයයි, ජනාධිපති අනුර කුමාරයි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම දෙන්නෙක්. අනුර කුමාර සහෝදරයා මේ සෑම අර්බුදයක් ගැනම ඉතාම සැලසුම් සහගතව කරුණු ඉදිරිපත් කළා. සංඛ්‍යා ලේඛන, දත්ත සහිතව බොහොම තර්කානුකූලව කරුණු, තර්ක ඉදිරිපත් කළා. අපට බලය ලැබුණොත් කරන්නේ මෙහෙමයි කියලා අමුතුම ලෝකයක් මැව්වා. මේ රටේ ජනතාවත් අනුර කුමාර සහෝදරයා, විපක්ෂ මන්ත්‍රී අනුර කුමාර කියන ලස්සන කතා අහලා 2024 දී ඡන්දය දුන්නා. පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් දුන්නා. දැන් සහෝදර අනුර කුමාරයි, ජනාධිපති අනුර කුමාරයි කියන්නේ කතා දෙකක්. අහසට පොළව වාගේ කතා. QR Code එක හඳුන්වා දුන් විට අනුර සහෝදරයා කළ කතා අපට අමතක නැහැ. ඔත්තේ – ඉරට්ටේ දිනවලට තෙල් බෙදා හැරීමට ඔහු මොන තරම් සමච්චල් කළා ද ?. අද අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මොනව ද කියන්නේ ?. අද ඔහු කරන්නෙත් ඒ දේමයි. එක අකුරක් වෙනස් කරලා නැ. QR Code එකට ඔත්තේ – ඉරටේ දිනවල තෙල් ගහනවා. නමුත් ඔහුට ඒ වැඩේ හරියට කර ගන්න බැහැ. මීට පෙර අර්බුදයේ දී සාර්ථකව යොදා ගත්ත ඇප් එකවත් මේ ආණ්ඩුවට සාර්ථකව යොදා ගන්න බැහැ. මේකෙන්ම පේනවා නේද අනුර කුමාර කොච්චර ෆේල් ද කියලා.
ඒත් ඉන්ධන බෙදා හැරීම හරියට වෙනවා දේ ?. පෝළිම් අඩුයි නේද ?
මේ ආණ්ඩුවට ජනතාවට හරියට ඉන්ධන දෙන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. මේ අය කල්පනා කරන්නේ ජනතාවට කොහොම හරි ඉන්ධන නොදෙන්න, ඒ කියන්නේ කොහොම හරි ෂෙඩ්වල පෝළිම් නැති කිරීම තමයි ආණ්ඩුවේ අරමුණ. තෙල් බෙදා හැරීම නෙමෙයි. ආණ්ඩුවට අවශ්‍ය පෝළිම් නැතිකර ගන්න පමණයි. පුළුන්කමක් තිබෙනවා නම් ආණ්ඩුව වාහන වර්ගය අනුවත් දින වෙන් කරනවා. ආණ්ඩුව මේ හැම දෙයක්ම කරන්නේ පෝලිම් නැතිකර ගන්න. ඔබ කියන ආකාරයට පෝළිම් නැහැ තමයි. නමුත් ඒක වුණේ කොහොමද ?, එකක් ෂෙඩ්වල තෙල් නැහැ, දෙක මිල ගණන් දරා ගන්න අමාරුයි. මේ ගිනි ගණන්වලට සාමාන්‍ය මිනිහෙක් තෙල් ගහන්නේ කොහොමද ?
ඇත්තටම ඉන්ධන මිල අඩුකරනවා කියලා මාළිමාව දුන්න පොරොන්දුවට මොකද වුණේ ? මේ වන විට ලංකාවේ ඉහළම ඉන්ධන මිල ගණන් වාර්තා වෙනවා නේද ?
අනුර කුමාරලා ඡන්දේ කාලේ පොරොන්දු වුණේ ඉන්ධන මිල ගණන් අඩු කරන්න. නාස්තිය, දූෂණය, පගාව, කොමිස් නැති කරලා ඉන්ධන මිල අඩු කරනවා කිව්වා, ඉන්ධනවලට ගහලා තියෙන බදු අඩු කරනවා කියලා කිව්වා. ඒ කියන්නේ මේ ආණ්ඩුව බලයට ආවේ ඉන්ධන මිල අඩුකරනවා කියලා පොරොන්දුවක් එක්ක. ඉන්ධන මිල අඩුකරන තාලේ අනුර සහෝදරයා එක රුපියලට ගණන් හදලා පෙන්නුවා. ඇමතිට යන ගාන අඩුකරන හැටි, බද්ද අයින් කරලා ගාන අඩුකරන හැටි වේදිකාවවක් වේදිකාවක් ගානේ පැහැදිලි කළා. රූපවාහිනී චැනල් වල වරු ගණන් කියෙව්වා. මංගලගේ මිල සූත්‍රය මොන තරම් විවේචනය කළා ද, බැන්නද. මිල සූත්‍රය හදපු මංගල සමරවීර ඇමැතිතුමාගේ අම්මා – අප්පා මතක් කළා. ඔහුව නැති කළා. මාළිමාව ආණ්ඩුව බලයට ආපු ගමන් මිල සූත්‍රය අහෝසි කරනවා කියලා දිවුරලා කිව්වා. එහෙම පොරොන්දු දුන්න මේ ආණ්ඩුව ඉතිහාසයේ පළමුවැනි වතාවට මාසයයක් තුළ තුන් වතාවක් ඉන්ධන මිල ඉහළ දැම්මා. ඉස්සර ඉන්ධන සංශෝධණය කළේ, මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කළේ මාසයේ පළමු වැනිදා. ඒත් මේ ආණ්ඩුව මේ මාසේ තුන් පාරක් ඉන්ධන මිල ඉහළ දැම්මා. මේ සැරේ ඉන්ධන මිල ඉහළ දැම්මේ එසේ මෙසේ ගාණකිනුත් නෙමෙයි, ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින්.
ඒකට හේතුව ජනාධිපතිවරයා පැහැදිලි කළා නේද ?
ඔව්, අනුර කුමාර සූත්‍රය අනුව පැහැදිලි කළා. අනුර කුමාර සූත්‍රය අනුව ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක් ඩොලර් එකකි වැඩි වෙන කොට ලංකාවේ ඉන්ධන ලීටරයක් රුපියල් දෙකකින් වැඩි වෙනවා. මේ සූත්‍රය මිල ඉහළ යාමට විතරයි. අඩු වෙන කොට මේ සූත්‍රය හොයා ගන්න බැරි වෙයි. අනුර සූත්‍රය අනුව කළ මේ මිල වැඩි කිරීම හරිනම් බොරතෙල් බැරල් එකක් ඩොලර් 500ක් විතර වෙන්න ඔ්නෑ. අපි හිතාගෙන හිටියේ ගෝඨාභය රාජපක්ෂ තමයි ‘හොඳට කළේ ‘කියලා. නමුත් දැන් අපට පේනවා අනුර කුමාර තමයි ‘හොඳටම….ම කරලා’ තියෙන්නේ කියලා.
ඇත්තටම ඉන්ධන මත පනවා තිබෙන බද්ද ඉවත් කරලා ජනතාවට සහනයක් දෙන්න බැරි ද ?
අනුර සහෝදරයා, ටිල්වින් සහෝදරයා ඒ ගැන ආණ්ඩුවට බල කළා. ඉන්ධන මත පනවා තිබෙන බද්ද අයින් කරලා ජනතාවට ඒ සහනය ලබා දෙන්න කියලා අනුර සහෝදරයා සහ ටිල්වින් සහෝදරයා කිව්වා. නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට, මුදල් අමාත්‍ය අනුර කුමාර දිසනායකට, ජනාධිපති අනුර කුමාරගේ ජනාධිපති, නායකයා වන ටිල්වින් සිල්වා මැතිතුමාට අද ඒ අතීතය මතක නැහැ. අදත් ඉන්ධන මත බද්ද ක්‍රියාත්මකයි. ඒක එක රුපියලකින් අඩු කරලා නැහැ. අඩු කරන්නෙත් නැහැ. අද ආණ්ඩුවේ නායකයො, ජවිපෙ, මාළිමාවේ නායකයෝ පමණක් නොවෙයි කාඩර්ලා පවා කතා කරන්නේ මැරිලා ඉපදුණු මිනිස්සු වාගේ. ඔවුන්ට ඔවුන්ගේ ඉතිහාසය ගැන කිසිම මතකයක් නැහැ. මට හිතෙන්නේ බලය ලැබුණට පස්සේ ජවිපෙට අතීතය අමතක වීමේ රෝගය වැළදිලා.
මේ තත්ත්වය තුළ විපක්ෂයේ, සමගි ජන බලවේගයේ විසඳුම, යෝජනාව කුමක්ද ?

අපිට විසඳුම් දෙන්න බැහැනේ. අපට කළ හැක්කේ යෝජනා පමණයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ ජනතාව අසීරුවට පත්ව සිටින මේ අවස්ථාවේ වඩාත් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි කියලා. ඉන්ධන මිල ඉහළ යනවා කියන්නේ ඉන්ධනවල මිල පමණක් ඉහළ යාම නොවෙයි. ඒ සමඟ සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යනවා. පාන් රාත්තලේ සිට බස් ගාස්තුව දක්වා ඉහළ යනවා. මේක ජනතාවට දරා ගන්න අමාරුයි, ආර්ථිකයට, ව්‍යාපාරිකයින්ට දරා ගන්න අමාරුයි. ඒ නිසා එදා විපක්ෂ මන්ත්‍රී අනුර කුමාර සහෝදරයට, ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයට තමන් කලට පෙර කිව්ව, ආණ්ඩුවට යෝජනා කළ අදහස් කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ බොරුකාරයෙක් නොවී විපක්ෂයේ සිටිය දී දුන්න පොරොන්දු ඉටු කරන්න, එදා ආණ්ඩුවලට දුන්න උපදෙස් අද ඔබම අත්හදා බලන්න, ක්‍රියාත්මක කරන්න. මේක ‘පච ආණ්ඩුව’ කියන ලේබල් එක ගළවා ගන්න තිබෙන හොඳම අවස්ථාව. විපක්ෂ නායකුමා, අපි මේ ඔබතුමාට මතක් කර දෙන්නේ ඒ අතීතයයි. ඒක තරහට කරන දෙයක් නෙමෙයි. අපි කියන්නෙත් රුපියල් 120ක් පමණ වෙන බද්ද තාවකාලිව හෝ අඩු කරන්න කියලා.
බද්දක් අයින් කරනවා හෝ අඩු කරනවා කියන්නේ ආණ්ඩුවට බදු ආදායම අහිමිකර ගැනීමක් නේද ?. දිටවා සුළි කුණාටුවෙනුත් බැටකාලා ඉන්න රටකට ඒක කරන්න පුළුවන් ද ?
මීට වඩා අර්බුදවලින් බැට කාලා ඉන්න කොටනේ අනුර කුමාර සහෝදරයා 2022 දී කිව්වේ ඉන්ධන මත පනවා තිබෙන බද්ද අයින් කරලා ජනතාවට සහන දෙන්න කියලා. එදා ආණ්ඩුවට සල්ලි නැහැ, ඩොලර් නැහැ, මහා භාණ්ඩාගාරය හිස්. නමුත් මේ ආණ්ඩුවේ භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා යනවා. රුපියල් ට්‍රිලියනයක් තිබෙනවා. තෙල් ගේනන ඇති තරම් ඩොලර් තියෙනවා. ඉතිං ඇයි ඉතාම කෙටි කාලයක්, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වන තෙක් ජනතාවට සහනයක් දෙන්න බැරි. මේ බද්දෙන් එකතු කරන්නේ ඩොලර් නෙමෙයි රුපියල්. රුපියල් එකතු කරලා ඇති වැඩක් නැනේ. ඒ නිසා මාස කිහිපයක් ඉන්ධන මත පනවා තිබෙන දැවැන්ත බද්ද අඩු කළා හෝ ඉවත් කළා කියලා ආණ්ඩුව බංකලොත් වෙන්නේ නැහැ. මහා භාණ්ඩාගාරය හිදෙන්නේ නැහැ. ඒ නිසා විපක්ෂය ලෙස අපි ඉතාම පැහදැලිව කියයන්නේ තාවකාලිකව හෝ ඉන්ධන මත පනවා තිබෙන සියලු ම බදු අයින් කරන්න, නැතිනම් අඩු කරන්න. එහෙම කළොත් මේ වන විට ඉහළ ගිහින් තිබෙන පාන් ගෙඩියේ, බස් ගාස්තුවේ, ප්ලේන්ටියේ මිල පහළට යනවා. ජනතාව මත පැටවී තිබෙන පීඩනය අයින් වෙනවා. මේ අර්බුදකාරී අවස්ථාවක ජනතාවට වගකියන, ජනාධිපතිවරයා කියන ආකාරයට ජනවරමට වගකියන ආණ්ඩුවක් කටයුතු ඛල යුත්තේ තමන් ගැනම හිතලා නෙමෙයි, ජනතාව ගැන හිතලා, පීඩාවට පත් ජනතාව ගැන හිතලා. ඒක තමයි මේ ආණ්ඩුවට ලැබිලා තිබෙන ජනවරම. මේ ආණ්ඩුව බලයට පත් වුණේ ඉන්ධන මිල, විදුලි බිල අඩු කරනවා කියලා. ඊනියා මිල සූත්‍රය අහෝසි කරනවා කියලා. විපක්ෂය ලෙස අපි ආණ්ඩුවට අඛණ්ඩව බල කරන්නේ ජනවරමට ගරු කරලා දුන්න පොරොන්දු ඉටු කරන්න. විපක්ෂ මන්ත්‍රී අනුර සහෝදරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක කියන්නේ එක පුද්ගලයෙක් කියලා ඔප්පු කරන්න කියලා. මේක ජනාධිපති වරයාට සහ ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ දේශපාලන සුජාතභාවය ඔප්පු කරන්න ලැබුණ ස්වර්ණමය අවස්ථාව කියලා මම හිතනවා.
රතුඉර පුවත්පතේ 2026 මාර්තු 29 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.
සටහන – භාතිය බරුකන්ද
















