එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම පැමිණිල්ල අද (19) කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2013 වසරේ සිට 2016 දක්වා කාලසීමාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී සිදු වී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිලි දෙකක් මත විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
ඊට අමතරව අදාළ මුදල් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යොමුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම අධිකරණය ඉදිරියේ සඳහන් කළේය.
















