කාන්තා අයිතිවාසිකම් නීතියට පමණක් සීමා නොකර සැබෑ ජීවිතයට හිමිකර දීම රජයේ වගකීමයි – අගමැති හරිනි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර කාන්තා දින සමරුව අද (08) පී.ඩී. සිරිසේන ක්‍රිඩාංගණයේදී පැවැත් වුණේය.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව ‘ගැහැනු අපි එක මිටට – ඇය නැඟිටින විට, නැඟිටිනවා රට’ යනුවෙන් නම්කර තිබුණේය.

ජාත්‍යන්තර කාන්තා දින සමරුව අමතමින් අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙසේ ද පැවසුවාය, “කාන්තාව කුමන ක්ෂේත්‍රයක හිටියත් ඔවුන් මුහුණ දෙන ගැටලු වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපි දේශපාලනය කරන්නේ ඒ වෙනුවෙන්, අද සෑම ක්ෂේත්‍රයකම කාන්තාවන් ඉදිරියට එමින් තිබෙනවා. ඔවුන්ගේ ඒ කැපවීමට අගයක් දෙන්න රජය සූදානම්, මේ රට ගොඩනැගීමේ කාර්යයේ දී කාන්තා ඔබගේ මැදිහත්වීම අපිට වටිනවා.

අද අප භුක්ති විඳින අධ්‍යාපන අයිතිය, දේශපාලන අයිතිය ඇතුළු සියලු නිදහස් හිමිවුණේ ඉතිහාසය පුරා කාන්තාවන් සිදුකළ අතිමහත් අරගල නිසයි. මේ දිනය මල් පොකුරකට සීමා වූවක් නොවෙයි. එම අයිතිවාසිකම් රැකගනිමින්, අපේ රටේ සෑම ගැහැනියකටම තමන්ගේ ජීවිතය මීට වඩා හොඳ තැනකට ගෙන යා හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපේ පරම අරමුණයි.

මෙරට කාන්තා ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන හුදෙක් ප්‍රදේශයට පමණක් සීමා නොවිය යුතු යි. ඔවුන් ජාතික ආර්ථිකයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත්කිරීමට අවශ්‍ය පසුබිම රජය විසින් සකස් කරමින් යනවා. ඒවගෙම පවුල වෙනුවෙන් මෙන්ම රටේ ආර්ථිකය වෙනුවෙන් කාන්තාවන් වැටුප් ලබමින් හා නොලබමින් සිදුකරන අසීමිත කැපකිරීම ඇගයීම සඳහා “ජාතික සුරැකුම් ප්‍රතිපත්තියක්” (National Care Policy) හඳුන්වා දීම වෙනවෙන් වන යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය විසින් පසුගිය දා ඉදිරිපත් කළා.

ලෝකයේ සිදුවන විවිධ අර්බුද හමුවේ මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටීමට කාන්තාවන්ට විශාල වගකීමක් තිබෙනවා. සහකම්පනයෙන් යුතුව සංවිධානය වී සාමය වෙනුවෙන් හඬ නැගීමට පෙරමුණ ගන්නා ලෙස මම සියලු කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා”.

මෙහිදී සභාව ඇමතූ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළේ, මෙරට ඩොලර් සංචිතය ඉහළ නැංවීමට විදේශ රැකියාවල නිරත වෙමින් කාන්තාවන් වැගිරූ කඳුළට සහ දාඩියට නිසි වටිනාකමක් ලබාදෙන යුගය දැන් උදා වී ඇති බවයි. ව්‍යවසායිකාවන්, ගෘහමූලික කාන්තාවන් මෙන්ම හිංසනයට පත් වූවන් වෙනුවෙන් සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ වූ පුළුල් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවද ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website