ඕනෑම අර්බුදයකට මුහුණ දෙන්න ශක්තියක් ආණ්ඩුවට තිබෙනවා – සමන්මලී ගුණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී

මැදපෙරදිග කලාපයේ ඇති වෙලා තිබෙන යුධ තත්ත්වය හේතුවෙන් අපට සිදුවිය හැකි බලපෑම සහ එහිදී උද්ගත විය හැකි අභියෝගවලට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කළා. ඒ වගේම යුදමය තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු විය හැකි බලපෑම සහ එය කළමනාකරණයට ගත යුතු කඩිනම් පියවර සොයා බැලීමේ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් පසුගිය 04 වැනිදා පැවැත් වුණා. ඉදිරියේදී ඇති විය හැකි තත්ත්ත්ව උපකල්පනය කළ නොහැකි වුවත්, සෑම ක්ෂේත්‍රයකම මතු වන නව වර්ධනයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් සාමුහිකව මෙම අභියෝගය ජය ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා මේ සාකච්ඡාවේදී පෙන්වා දුන්නා. ඉන්ධන සහ ගෑස් සම්බන්ධව ඉදිරියේදී මතු විය හැකි අභියෝග සහ අවශ්‍ය තොග කළමනාකරණය කර ගැනීම පිළිබඳව මෙන්ම, සංචාරක, අපනයන, ආයෝජන ආදී අංශවලද ආහාර සුරක්ෂිතතාව සම්බන්ධව මතු විය හැකි තත්ත්ව සහ එමඟින් මෙරට උද්ධමනයට ඇති විය හැකි බලපෑමත් එය කළමනාකරණය කර ගැනීමට ගත යුතු පියවර පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණා.ඒ වගේම සංචාරකයන්ගේ සහ විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් පසුගිය 04 වැනිදා පැවැත් වුණා. ජනාධිපතිතුමා වගේම විදේශ කටයුතු අමාත්‍යතුමා ඇතුළු ආණඩුවේ බලධාරීන් මැදපෙරදිග කලාපයේ ඇති වෙලා තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටිමින් අවශ්‍ය පියවර ගන්නවා. අනවශ්‍ය ලෙස කලබල ‌නොවන ලෙස අපි ජතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් ම කළමනාකරණය කර ගෙන තිබෙනවා. මේ වන විට රට තුළ ප්‍රමාණවත් තරම් ඉන්ධන සහ ගෑස් තොග තිබෙනවා. යළි ඉන්ධන පෝලිම් හෝ ගෑස් හිඟයක් ඇති නොවන බවට විෂයභාර අමාත්‍යතුමා සහතික වෙලා තිබෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ අවශ්‍ය මිලදී ගැනීම් කිරීමට අවශ්‍ය තරම් මුදල්, ඩොලර් අප සතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විෂයභාර විජිත් හේරත් ඇමැතිතුමා පසුගිය 04 වැනිදා පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කළා. විදේශ සංචාරකයින්ගේ හෝ ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණවලට මේ යුධ තත්ත්වයෙන් කිසිම බාධාවක් නොවන බව ඇමැතිතුමා පැහැදිලි කළා. යම්කිසි ආකාරයකින් යුද්ධය අනපේක්ෂිත ලෙස ඉදිරියට ගියොත් ඒක අපට පමණක් නොවෙයි මුළු ලෝකයටම බලපෑමක් වෙයි. ඒත් මේ වන විට අපේ ආර්ථික ශක්තිය සහ විදේශ සංචිත අනුව දීර්ඝ කාලීන බලපෑමක් වුණත් නිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ ශක්තියක් හා හැකියාවක් අපට තිබෙනවා. ඒ වගේම අපි අමතක නොකළ යුතුයි මේ යුධ තත්ත්වය ලංකාවට පමණක් නොවෙයි මුළු ලෝකයටම බලපානවා.

සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කරලා තිබෙනවා. ඒ කටයුතු ඉතාම සාර්ථකව සිදුවෙනවා. නමුත් නිවසක් ඉදිකිරීම දින කිහිපයකින් කළ නොහැකියි. ඒකට සැලකිය යුතු කාලයක් ගත වෙනවා. ඒ වගේම හානියට පත් දේපොළ තක්සේරු කිරීමේ කටයුතු සිදුවෙනවා. යම් යම් අඩුපාඩු සහ ප්‍රශ්න තිබෙන්න පුළුවන් බව අපි පිළිගන්නවා. ආණ්ඩුවට අවශ්‍ය තරම් සල්ලි තිබෙනවා නම්, මේ කටයුතු සාර්ථකව කළ යුතු බව විශ්වාස කරනවා නම්, ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා නම්, මේ මුදල් හොරා කන්නේ, ගසා කන්නේ නැතිනම් මේ ක්‍රියාවලිය තුළ ප්‍රශ්නයක් තිබෙන්න පුළුවන්කමක් නැහැ.

සමහර තැන්වල පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් පශ්චාත් ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් රාජ්‍ය අංශයෙන් ප්‍රමාණවත් සහයෝගයක් ලැබෙනවා. රාජ්‍ය නිලධාරීන්ගෙන් ලැබුණු සහයෝගයෙන් මේ වන විට පශ්චාත් ආපදා කළමනාකරණ කටයුතු සාර්ථකව සිදුවෙනවා.  

වෛද්‍යවරු වැඩවර්ජනය කළා, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගත්තා කියලා කවුද දන්නේ ?, මිනිස්සු තමන්ගේ දෛනික කටයුතු බාධාවකින් තොරව කරගෙන යනවානේ. වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ජනතාවට නම් ප්‍රශ්නයක් වෙලා නැහැ. වර්ජනය කළ ඇතැම් වෛද්‍යවරුන්ට නම් මේක ප්‍රශ්නයක් වෙලා ඇති. නමුත් සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයම තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටු කරනවා. අපි ඒ ගැන ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.

අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේ පළමු වැනි වසරට පමණයි. මේ වන විට පළමු වසරේ ළමයි නව අධ්‍යපන ප්‍රතිසංස්කරණවල ප්‍රතිපළ භුක්ති විඳිමින් සිටිනවා. හයවැනි වසරේ ළමයින්ට ඇති වුණ තාවකාලික ගැටලුව විසඳා ගැනීමට අපි මේ වන විට කටයුතු කරමින් සිටිනවා. මේ දරුවන්ට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.

ජාතිවාදයට, ආගම්වාදයට මේ රටේ යළි හිස ඔසවන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපට ජාතික සමගිය, ආගමික සමගිය අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් කළ හැකි උපරිම දේ කරනවා, මැදිහත්වීම් කරනවා. ඒ වගේම ජාතිවාදී මාධ්‍ය, ඇතැම් පුද්ගලයෝ සහ කණ්ඩායම් යළි ජාතිවාදය සහ ආගම්වාදය හරහා හිස ඔසවන්න උත්සාහා කරනවා. නමුත් ජනතාව ඔවුන්ට ඉඩ දෙන එකක් නැහැ.

මේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ. මේක ආණ්ඩුවේ වැඩක් නෙමෙයි. ඒක පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරියක්. ඒ වගේම තමයි, රට බේර ගත්තා කියලා කියන කෙනෙක් යම්කිසි වරදක් කළොත් ඒක වරදක් වෙන්නේ නැද්ද ?. නීතිය සියලු දෙනාටම එකයි. රට බේර ගත්තා කියලා කිසිම කෙනෙකුට දණ්ඩ මුක්තික් නෑ. නීතිය ඉහළින් කිසිවෙක් නැහැ. යම්කිසි පුද්ගලයෙක් වැරද්දක් කළා නම් ඔහුගේ හෝ ඇයගේ තරාතිරම නොබලා වැරැද්දට දඬුවම් කළ යුතුයි. ඒක රටේ පොදු නීතිය අනුව සිදුවෙන දෙයක්. අපි සියලු දෙනාම නීතියට යටතේ. නීතියට ඉහළින් කිසිම කෙනෙක් නැහැ.

චෝදනා කළාට වැඩක් නැහැ, ඒවාට විරුද්ධව අධිකරණය හමුවට යා යුතුයි, නඩු දැමිය යුතුයි. බොරුවට කෑගහලා වැඩක් නැහැ. අධිකරණය හමුවට, අල්ලස් කොමිෂම හමුවට යා යුතුයි. ඒවැනි ක්‍රියාවලියක් නොකර මිනිස්සු ඉදිරියේ කතා කියලා වැඩක් නැහැ. අපේ ආණ්ඩුවට විරුද්ධව චෝදනා තිබෙනවා නම් කරුණාකරලා අධිකරණය හමුවට යන්න. හුදු ප්‍රකාශවලින්, වොයිස් කට්වලින් කිසිවක් වෙන්නේ නැහැ. අනෙක් කාරණය තව දුරටත් බොරුවෙන් දේශපාලනය කරන්න බැහැ. අරගලයෙන් පස්සේ ජනතාවගේ ආකල්ප වෙනස් වෙලා තිබෙනවා. ඔවුන් හිතන ආකාරය වෙනස් වෙලා තිබෙනවා. විශේෂයෙන් තරුණ පරපුරට වංචා කරන්න බැහැ. ඔවුන්ට දේශපාලනය ගැන, සමාජය ගැන මනා කියවීමක් තිබෙනවා. මේ වෙනස ගැන විපක්ෂයට අවබෝධයක් තිබෙන බවක් නම් පේන්න නැහැ

සිද්ධීන් රාශියක් සිද්ධ වුණා. ඒ සියල්ල පාතාල කල්ලි අතර ඇති වුණ ගැටුම් බව අපි කවුරුත් දන්නවා. අපේ ආණ්ඩුවට පාතාලය ආරක්ෂා කිරීමට හෝ පාතාලයෙන් රැකවරණය ලැබීමට කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි මේ අපරාධ සංස්කෘතිය අවසන් කරනවා. ඒකට අපට ශක්තියක් තිබෙනවා. මේ වන විට ක්‍රමිකව සමාජය සුද්ධ කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් තිබෙනවා.

මේ බංකලොත් විපක්ෂය, කුහක විපක්ෂය කරන චෝදනාවලට කිසිම පදනමක් නැහැ. ඉතාම පැහැදිලිව ගල් අඟුරු ආනයනයේ දී කිසිම ආකාරයක දූෂණයක්, අක්‍රමිකතාවක් වෙලා නැහැ. ඒ ගැන අපි ජනතාවට සහතික වෙනවා.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website