බලශක්ති අමාත්‍යංශයේ තාක්ෂණික අංශයේ අධ්‍යක්ෂවරයාගේ නිර්දේශ නොසලකා හරිමින් ටෙන්ඩර්කරුවන් වෙනස් කිරීමෙන් පසුව ගෙන්වන ලද ගල් අඟුරු නැව් හරහා විදුලි බල මණ්ඩලයට සිදු වූ මුළු ඇස්තමේන්තු ගත අලාභය රුපියල් බිලියන තුනක් බවත්, සැපයුම්කරුගෙන් අයකර ගත හැකි අලාභ පියවීම රුපියල් බිලියන 1.03ක් බවත් ඒ අනුව ලංවිමට සිදු වූ ශුද්ධ පාඩුව රුපියල් බිලියන දෙකකට ආසන්න බවත් සජබ මන්ත්‍රී අජිත් පී.පෙරේරා ඊයේ (20) පාර්ලිමේන්තුවට පැවසුවේය.
බලශක්ති අමාත්‍යවරයා විසින් ගල් අඟුරු ලබා ගැනීමේ කොන්දේසි වෙනස් කරනු ලබන විට බලශක්ති අමාත්‍යංශයේ තාක්ෂණික අංශයේ අධ්‍යක්ෂවරයා ඒ හරහා ගල් අඟුරු තත්ත්වය බාල විය හැකි බවට වාර්තාවක් මගින් දැනුම් දී තිබූ බව ද ඔහු පාර්ලිමේන්තුවට හෙළි කළේය.
මේ සම්බන්ධයෙන් විවාදයේ දී කරුණු පැහැදිලි කළ අජිත් පී. පෙරේරා මෙසේ ද පැවසුවේය, “2026 පෙබරවාරි මාසේ 11 වෙනි දා, විදුලි බල මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා මේ ලිපිය. ඒ ලිපිය ඉදිරිපත් කරන දවසට ගණන් හදන්නේ ගල් අඟුරු නැව් 4ක් ගැන. ඒ ගල් අඟුරු නැව් හතරේ වෙලා තියෙන සමස්ත පාඩුව, ඍජු විදුලි ජනන අලාභය මිලියන දෙදාස් හතිසීය අනූ හයයි. ඇස්තමේතුගත නඩත්තු සහ අලුත් වැඩියා සඳහා යන වියදම මිලියන දෙසීය තිහය දශම හතයි හතරයි. මුළු ඇස්තමේන්තු ගත අලාභය බිලියන තුනයි දශම බින්දුවයි දෙකයි, නැත්නම් මිලියන තුන්දාහයි. සැපයුම්කරුගෙන් අඩු කරන්න පුළුවන් අලාභය නැත්නම් අලාභ පියවීම බිලියන එකයි දශම බින්දුවයි තුනයි හතයි. පාඩුව බිලියන දෙකයි.”.













