තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ 2026 වසර සඳහා වූ ඉදිරි වැඩසටහන් පිළිබඳව එම සංසදයේ රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය.
ඒ තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (පෙබ. 17) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
මෙරට තාරුණ්‍යට අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය සහ සංකල්පීය කරුණු සංසදය හරහා වර්ධනය කර ඒවා රාජ්‍ය අංශයේ යාන්ත්‍රණයන් හරහා ක්‍රියාත්මක කළ හැකි වන පරිදි සංසදයේ ක්‍රියාකාරකම් සකස් විය යුතු බව සංසදයේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් දැනට සකස් කරමින් පවතින යෝජිත ජාතික තරුණ ප්‍රතිපත්තිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව, යෝජිත ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය විය.
තවද, තාරුණ්‍යට අදාළවන නීතිවලට ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම, දත්ත මත පදනම් වූ වැඩසටහන් සකස් කිරීම සහ තාරුණ්‍ය සඳහා වූ පාර්ලිමේන්තු සංසදයට රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ලබා ගැනීම මෙන්ම තාරුණ්‍ය සඳහා ස්ථාපිත ජාත්‍යන්තර සංසද සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම ඇතුළු කරුණු පිළිබඳව ද මෙම රැස්වීමේදී සාකච්ඡා විය.
තාරුණ්‍ය සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසිත් භාෂණ ගමගේ සහ තනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරයන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.















