පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සම්මත වීම සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 519කගේ සහ මන්ත්‍රීවරුන්ගේ කාලත්‍රයන් 160 දෙනෙකුට ද විශ්‍රාම වැටුප් අහිමි වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ ආකාරයෙන් විශ්‍රාම වැටුප අහෝසි වීම සමඟ වාර්ෂිකව රුපියල් මිලියන 200ක් ඉතිරි වන බවත් එම ආරංචි මාර්ග පැවසුවේය.
මෙම පනත් කෙටුම්පත සම්මත වී පැයක් ඇතුළත කතානායක ජගත් වික්‍රමරත්න මහතා එය සහතික කරමින් තම අත්සන තැබීම විශේෂත්වයකි.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් ලැබුණු අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ චාමර සම්පත් දසනායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ චානක මාදුගොඩ යන මන්ත්‍රීවරු එයට විරුද්ධව ඡන්දය ලබා දුන්නේය.
මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී දයාසිරි ජයසේකර, චාමර සම්පත් දසනායක, රෝහණ බණ්ඩාර ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් විශ්‍රාම වැටුප් අහිමි වීමෙන්, දැනට කිසිම ආදායමක් නොමැති හිටපු මන්ත්‍රීවරුන් රාශියකට ආර්ථික දුෂ්කරතා ඇති වන බව ප්‍රකාශ කළහ. වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ එවැනි ආර්ථික අමාරුකම් ඇති හිටපු මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළොත් ‘කරුණාසහගත දීමනාවක්‘ ලබාදීමට හැකි බවයි















