එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට තෙවැනි එක්දින තරගයේ ශතක ලාභී පවන් රත්නායකව එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
එංගලන්තයට එරෙහිව ජනවාරි මස 30 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වේ.
නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඉකුත්දා පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේදී ඇතුළත් නොවුණු කුසල් ජනිත් පෙරේරා සහ ප්‍ර මෝද් මදුෂාන්ද ඇතුළත්ව සිටිති. ඒ අනුව ඉකුත්දා පාකිස්තානු පිලට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියට ඇතුළත්ව සිටි දුෂාන් හේමන්ත, කමිඳු මෙන්ඩිස්, ට්‍රෙවීන් මැතිව් සහ නුවන් තුෂාරට කණ්ඩායමේ ස්ථාන අහිමිවීම කැපී පෙනෙයි.
එංගලන්තයට එරෙහිව පැවැති පළමු සහ දෙවැනි එක්දින තරග වලදී අංක 7 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි පවන් රත්නායක තෙවැනි තරගයේදී සිව්වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසෙමින් පන්දු 115 කදී ලකුණු 121 ක් වාර්තා කිරීමට සමත්වූවේය. මෙම දක්ෂතාව මත පදනම්ව ඔහුව විස්සයි-20 තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට එක් කර තිබේ.
තවමත් 23 හැවිරිදි වියේ පසුවන පවන් දකුණතින් පන්දුවට පහර දෙයි. ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සිට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට ක්‍රීඩා කරමින් දක්වන ලද දක්ෂතා මත ඔහු ජාතික කණ්ඩායම සඳහා තේරීපත්ව සිටියි. පළමු පෙළ තරග 58 කට සහ පළමු පෙළ එක්දින තරග 83 කට ක්‍රීඩා කොට ඇති පවන්ගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය පිළිවෙළින් 50.06 ක් සහ 45.06 ක් ලෙසින් සනිටුහන් වේ. ඒ ඊට ශතක 20 ක්ද ඇතුළත් කරගනිමිනි.
ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම
- දසුන් ශානක (නායක)
- පැතුම් නිස්සංක
- කමිල් මිශාර
- කුසල් මෙන්ඩිස්
- කුසල් ජනිත් පෙරේරා
- ධනංජය ද සිල්වා
- චරිත් අසලංක
- ජනිත් ලියනගේ
- පවන් රත්නායක
- වනිඳු හසරංග
- දුනිත් වෙල්ලාලගේ
- මහීෂ් තීක්ෂණ
- දුෂ්මන්ත චමීර
- ප්‍රමෝද් මදුෂාන්
- එෂාන් මාලිංග
- මතීෂ පතිරණ.














