දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට විවිධ ආකාරයේ සහන ආධාර ලබා දෙමින් පවතින අතර රුපියල් බිලියන 4.5ක් සහනාධාර ලෙස බෙදා හැර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකරණ) කේ.ටී. ධර්මතිලක මහතා පැවසීය.
ඊයේ (12) කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් දිස්ත්‍රික්ක 22ක පවුල් 703, 922කට අයත් පුද්ගලයින් 24, 87, 114ක් පීඩාවට පත්ව ඇති බව ඔහු තවදුරටත් පැවසීය. මරණ 676ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 155ක් අතුරුදහන් වී ඇත. නිවාස 6198ක් සම්පූර්ණයෙන්ම හානි වී ඇති අතර නිවාස 1,12,638ක් අර්ධ වශයෙන් හානි වී ඇත. මේ වන විට බදුල්ල, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සහන මධ්‍යස්ථාන 50ක පවුල් 1373කට අයත් පුද්ගලයින් 4175ක් නවාතැන් ගෙන ඇත.
සහන සැලසීම සඳහා දිස්ත්‍රික්ක 25ටම රුපියල් බිලියන 4.5 ක මුදලක් වෙන් කර ඇත. සියලුම දිස්ත්‍රික්කවල පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 41.6ක් වෙන් කර ඇති අතර නැවත පදිංචි කිරීමේ වැඩසටහන සඳහා රුපියල් බිලියන 2.1ක් වෙන් කර ඇත. මෙම ගෙවීම් ලබා දීමේ ප්‍රගතිය පිළිබඳව සතිපතා වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබේ.
වාර්තාවට අනුව, මේ දක්වා රුපියල් 25,000ක ගෙවීමෙන් සියයට 98.2ක් ලබා දී ඇති අතර රුපියල් 50,000ක ගෙවීමෙන් සියයට 81.5ක් ලබා දී ඇත. රුපියල් 25,000ක ගෙවීම ලැබීමට පවුල් 433,14 ක් සුදුසුකම් ලබයි. මෙයින් පවුල් 425,372කට අදාළ මුදල ලබා දී ඇත. රුපියල් 50,000 ක ගෙවීම ලැබීමට පුද්ගලයින් 170,366 ක් සුදුසුකම් ලබා ඇති අතර පුද්ගලයින් 139,006 දෙනකුට අදාළ ආධාර ලබාදී ඇත.
ජීවනෝපාය අහිමි වූ පවුල් 1254ක් දීමනාව ලැබීමට සුදුසුකම් ලබයි. ඒ හා සමානව, කුලී නිවාස සඳහා පුද්ගලයින් 8998 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. මෙයින් පවුල් 1018ක් කුලී නිවාසවල නැවත පදිංචි කර ඇත. බලපෑමට ලක් වූ පාසල් සිසුන් සඳහා රුපියල් 15 000ක දීමනාව ලබා ගැනීමට පුද්ගලයින් 203 354 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. මෙයින් සිසුන් 148 000කට මෙම දීමනා ලබා දී ඇත.
සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය සඳහා දීමනාව ලබා දී ඇත්තේ නිවාස 201කට පමණි. ඉඩම් ඇතුළු ගැටලු හේතුවෙන් මෙහි යම් ප්‍රමාදයක් තිබේ. අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා පුද්ගලයින් 1668 දෙනෙකුට දීමනා ගෙවා ඇත. මේ සඳහා රුපියල් මිලියන 108ක් ලබා දී ඇත. පවුල් හෝ ඥාතීන් අහිමි වූවන් සඳහා පුද්ගලයින් 265 දෙනෙකුට වන්දි ලබා දී ඇති බව ද ඔහු පැවසීය.












