“ව්‍යවසනයට එරෙහි විද්‍යාව” ජාතික වැඩසටහන 14 වැනිදා කොළඹදී

හදිසි ආපදා අවස්ථාවලදී සිදුවිය හැකි හානි අවම කිරීම සඳහා ආපදා කළමනාකරණයට අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කරමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ආපදා කළමනාකරණයට අදාළ සියලු ආයතන එක්කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන “ව්‍යවසනයට එරෙහි විද්‍යාව” ජාතික වැඩසටහන එළඹෙන ජනවාරි 14 වැනිදා කොළඹදී ආරම්භ කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා පැවසුවේ ජාතික ආපදාවක් ඇති වන අවස්ථාවලදී ආපදා හානි අවම කිරීමට බාධාවක් වන විද්‍යාත්මක හා තාක්ෂණික අඩුපාඩු හඳුනා ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි.

ව්‍යවසනයක් වැළැක්වීමේදී විශ්වවිද්‍යාල මට්ටමින් සිදු කෙරෙන පර්යේෂණ හා දත්ත අතිශය වැදගත් බවත්, ඒවා අනෙකුත් ආයතන සමඟ හුවමාරු කර ගනිමින් සියලු ආයතන එකමුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් එම සම්බන්ධතා ජාලය ගොඩනැගීම ද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බව ද  මෙම මාධ්‍ය හමුවට එක් වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්. මොහොමඩ් නවාවි මහතා පැවසුවේය.

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය විසින් මේ වන විට දිවයින පුරා නාය යා හැකි අවදානම් ප්‍රදේශ 4,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර, පසුගිය වසරේ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය වැනි ආපදා යළිත් සිදුවිය හැකි බැවින් සියලු විද්‍යාඥයින් සහ පර්යේෂණ ආයතන එක්ව සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය නවාවි මහතා පෙන්වා දුන්නේය.

“දැනටමත් විශ්වවිද්‍යාල හා වෙනත් ආයතන මට්ටමින් සිදු කර ඇති පර්යේෂණ ඉදිරියටත් දියුණු කර ගැනීම සඳහා රජයේ අනුග්‍රහය ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කිරීමටද නියමිතයි. ආපදාවට ලක් වූ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරු ද මෙම වැඩසටහනට සහභාගී වීමට නියමිත අතර, දිට්වා සුළි කුණාටුවෙන් පසු රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල හා අනෙකුත් ආයතන එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනවා. ජනවාරි 14 වැනිදා පැවැත්වීමට නියමිත පළමු වැඩසටහනෙන් අනතුරුව, එය ඉදිරියටත් නැවත නැවත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා” මොහොමඩ් නවාවි මහතා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website